Must Readජනප්‍රියතම ලිපිනැනෝ තාක්ෂණය

කුඩා විද්‍යාවකින් , සුවිශාල බලපෑමක් : නැනෝ-කැප්සියුලකරණයෙන් කිරි ආහාර ක්ෂේත්‍රයේ පෙරළිකාර පරිවර්තනයක්

නවීන විද්‍යාව හා තාක්ෂණය පදනම් කරගත් පර්යේෂණ හා සංවර්ධනයන් තුළ “නැනෝ” යන වචනය වැඩි වැඩියෙන් භාවිතා වෙමින් පවතී.  මේ යටතේ සාමාන්‍යයෙන් නැනෝමීටර (nm) 1 සහ 100 අතර, නැනෝ පරිමාණයෙන් මනින ලද ව්‍යුහයන් සහ ද්‍රව්‍ය පිළිබඳ සඳහන් කෙරෙන අතර එහි දී  ඒවායේ ගුණාංග විශාල අංශුවල ගුණාංගවලට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය (Teulon et al., 2018). නැනෝ තාක්‍ෂණ ක්ෂේත්‍රය අත්කර ගනු ලැබ ඇති  ශීඝ්‍ර දියුණුව හේතුවෙන්   ආහාර සහ ආහාර නොවන කර්මාන්ත යන දෙඅංශයම හරහා පැතිරී ගිය පුළුල් පරාසයක යෙදීම් සහිත දියුණු ක්ෂේත්‍රයක් ලෙස එය ස්ථාපිත වී තිබේ. ආහාර කර්මාන්තයේදී, ජෛව ක්‍රියාකාරී සංයෝගයන්හි ස්ථායිතාව සහ ජෛව උපයෝගීතාව වැඩි දියුණු කිරීමට , ආහාර ඇසුරුම් පද්ධති වැඩිදියුණු කිරීමට  සහ නිෂ්පාදනවල ආයු කාලය දීර්ඝ කර ගැනීමට  නැනෝ තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිතා වේ. ආහාර සම්බන්ධ නොවන අංශ ගත්කල , ඖෂධ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය , කෘෂිකර්මාන්තය සහ ජෛව වෛද්‍ය ක්ෂේත්‍රවල, විශේෂයෙන් ඉලක්කගත ස්ථාන කරා ද්‍රව්‍ය ලබාදීමේ පද්ධති සහ වැඩිදියුණු කළ ක්‍රියාකාරී කාර්ය සාධනය සඳහා නැනෝ තාක්‍ෂණය බහුලව යොදා ගැනේ.

ආහාර ක්ෂේත්‍රය හා සම්බන්ධව භාවිතයට ගැනෙන  නැනෝ තාක්‍ෂණයේ විවිධ යෙදීම් අතර, නැනෝ-කැප්සියුලකරණය  (nano-encapsulation) යනු විටමින්, ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝබියොටික් හෝ ශාක සාරය වැනි ක්‍රියාකාරී අමුද්‍රව්‍ය වට කිරීමට හෝ “ආවරණය ” කිරීමට කුඩා අංශු හෝ වාහක භාවිතා කරන තාක්‍ෂණයකි (Zhang et al., 2022). නැනෝ-කැප්සියුලකරණය යනු ප්‍රයෝජනවත් සංයෝග ස්ථායීව තබා ගැනීම  සහ සැකසීමේදී හානි සිදුවීම වැළක්වීම හරහා  ඒවා ආරක්ෂා කර ගැනීමට භාවිතා කරනු ලබන ක්‍රමයකි.              මෙය සිදු කරනු ලබන්නේ නැනෝ-වාහක ලෙස හඳුන්වන අතිශය කුඩා වාහක අංශු තුළට මෙම  සංයෝග ඇතුළත් කිරීමෙනි. මෙම වාහක, පරිභෝජනයට ගනු ලබන තෙක් සංයෝගවල පෝෂණ ගුණය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. මෙම නැනෝ-වාහක සාමාන්‍යයෙන් සෑදී ඇත්තේ ප්‍රෝටීන, ලිපිඩ හෝ පොලිසැකරයිඩ වැනි ආහාර ශ්‍රේණියේ ද්‍රව්‍ය වලින් වන අතර ඒවා  කැප්සියුලකරණය කරනු ලද සංයෝග වටා ආරක්ෂිත බාධක ලෙස ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස, කිරි ප්‍රෝටීනයක් වන කැසීන් සහ ස්වාභාවික ජෛව බහු අවයවකයක් වන කයිටෝසන්, ආහාර අංශයේ යෙදීම් සඳහා සුදුසු නැනෝ වාහක සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිතා කෙරේ (Maqsood et al., 2025).

නැනෝ-කැප්සියුලකරණය ආහාර කර්මාන්තයේ ආකර්ෂණීය නව දොරටු  විවර කර දේ . පාන වර්ග ගත්  කල , විටමින් සහ ප්‍රතිඔක්සිකාරක තැන්පත් වීම වළක්වමින්  ඒවා ඒකාකාරව විසුරුවා හරිමින්, පැහැදිලි, ස්ථාවර ලෙස පාන වර්ග පවත්වා ගැනීමට එය උපකාරී වේ. (Kumari et al., 2025). බේකරි කර්මාන්තයේදී  , නැනෝ-කැප්සියුලකරණය කළ ඔමේගා-3 මේද අම්ල හෝ නැනෝ-කැප්සියුලකරණය කළ ශාක සාරයන් ඒවායේ  රසය වෙනස් නොවන අන්දමින්  නිෂ්පාදන තුලට ඇතුළත් කළ හැකිය (Sonmezler et al., 2025). මස් සහ මාළු නිෂ්පාදනවල  කල් තබා ගත හැකි කාලය දීර්ඝ කිරීමට  සහ     නිෂ්පාදනවල  නැවුම් බව පවත්වා ගැනීමට උපකාරී වන  ස්වාභාවික කල් තබා ගන්නා ද්‍රව්‍ය, නිෂ්පාදන වෙත ලබා  දීමට නැනෝ වාහක මගින් හැකියාව උදා කර දේ. (Hanif et al., 2025).

නැනෝ-කැප්සියුලකරණය විවිධ ආහාර වර්ග සඳහා ප්‍රතිලාභ ලබා දෙන අතර, යෝගට්, බටර්, චීස් සහ කිරි වැනි පෝෂ්‍ය ගුණය ඉහල නංවන ලද  කිරි නිෂ්පාදන සඳහා එය විශේෂයෙන් වැදගත් වේ. කිරි පද්ධති ගත්කල ඒවා ප්‍රෝටීන්-ලිපිඩ අන්තර්ක්‍රියා, මේද ග්ලෝබියුලා ව්‍යුහය සහ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් ඇතුළු සුවිශේෂී  භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ ප්‍රදර්ශනය කරන අතර, එමගින් එකතු කරන ලද ජෛව ක්‍රියාකාරී සංයෝගවල හැසිරීමට බලපෑම් ඇති කළ හැකිය. මෙම පසුබිම  තුළ, නැනෝ-කැප්සියුලකරණය මගින් ජෛව ක්‍රියාකාරී සංයෝගවල ස්ථායිතාව වැඩි දියුණු කිරීම, ජෛව උපයෝගීතාව වැඩි දියුණු කිරීම, ආහාර ජීර්ණයේදී  පාලිත මුදා හැරීම, සංවේදක ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ ප්‍රෝබියොටික් ශක්‍යතාව වැඩි කිරීම ඇතුළු ප්‍රධාන වාසි කිහිපයක් අත්කර දේ. (Bhtoya et al., 2025).

නැනෝ-කැප්සියුලකරණයෙහි හි එක් සැලකිය යුතු ප්‍රතිලාභයක් වන්නේ ජෛව ක්‍රියාකාරී සංයෝගවල ස්ථායිතාව වැඩි දියුණු කිරීමයි. pH අගයෙහි  වෙනස්වීම් , ඔක්සිජන්වලට  නිරාවරණය වීම  සහ ආලෝකය ඇතුළුව පිරිසැකසුම් කිරීමේදී  සහ ගබඩා කර තැබීමේදී මුහුණ දෙන තත්වයන් නිසා ඇතිවන හායනයෙන් විටමින්, ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝබියොටික් සහ ශාක සාරය වැනි සංවේදී අමුද්‍රව්‍ය ආරක්ෂාකිරීමට කැප්සියුලකරණය උපකාර වේ.  (Rahim et al., 2025).

තවත් වැදගත් වාසියක් වන්නේ ජෛව උපයෝගීතාව වැඩිදියුණු කිරීමයි. කිරි නිෂ්පාදනවල සංකීර්ණ ප්‍රෝටීන්-මේද අනුකෘතිය තුළ ජෛව ක්‍රියාකාරී සංයෝග නොවෙනස්ව පවතින බව සහතික කිරීමට නැනෝ-කැප්සියුලකරණය උපකාරී වන අතර එමඟින් පරිභෝජනයෙන් පසු මිනිස් සිරුර තුළ ඒවායේ අවශෝෂණය සහ භාවිතය වැඩි දියුණු කරයි (Ruengdech et al., 2025). ආහාර දිරවීමේදී ජෛව ක්‍රියාකාරී සංයෝග පාලනයකින් යුක්තව මුදා හැරීම ද නැනෝ-කැප්සියුලකරණයෙහි සැලකිය යුතු ප්‍රතිලාභයකි.ප්‍රෝබියොටික් සහ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග සඳහා කදිම වාහකයන් ලෙස පෝෂ්‍ය ගුණය ඉහල නංවන  ලද  කිරි ආහාර ක්‍රියා  කරන අතර නැනෝ-කැප්සියුලකරණය මඟින් මෙම ද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතිය තුළ ක්‍රමයෙන් මුදා හැරීමට හැකියාව ලැබේ(Al-subhi, 2025). මෙම පාලිත නිකුතුව වඩා හොඳ දිගුකාලීන කායික විද්‍යාත්මක ප්‍රතිලාභ ප්‍රවර්ධනය කරයි. තවද, කැසීන් සහ කිරි මෝරු වල අඩංගු  ප්‍රෝටීන වැනි ස්වාභාවික කිරි සංරචක නැනෝ අංශු හා  බෙහෙවින් අනුකූලතාව දක්වන අතර, එම හේතුවෙන් බේකරි හෝ මස් නිෂ්පාදන වැනි අනෙකුත් ආහාර අනුකෘති හා සසඳන විට කැප්සියුලකරණය සඳහා විශේෂයෙන් සුදුසු මාධ්‍යයක් බවට කිරි පත් කර ඇත. (Robles-García et al., 2025).

ඊට අමතරව, නැනෝ-කැප්සියුලකරණය පෝෂ්‍ය ගුණය ඉහල නංවන  ලද කිරි ආහාරවල සංවේදී ගුණාංග ආරක්ෂා කිරීමට උපකාරී වේ. එහිදී අනවශ්‍ය රසයන් සැඟවීමෙන් සහ ඇතැම් ජෛව ක්‍රියාකාරී අමුද්‍රව්‍ය නිසා ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් වැළැක්වීමෙන්, එය පාරිභෝගිකයින් අපේක්ෂා කරන රසය, සුවඳ සහ මුඛ හැඟීම පවත්වා ගනී. (Azarashkan et al., 2022).

එපමණක් නොව, නැනෝ-කැප්සියුලකරණය පැසුණු කිරි නිෂ්පාදනවල ප්‍රෝබියොටික් (හිතකර) බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාර වන අතර   පිරිසැකසුම් කිරීමේදී , ගබඩා කිරීමේදී  සහ ආමාශ ආන්ත්‍රික සංක්‍රමණය අතරතුර එම පරිසරයන්හිදී එල්ලවන  ආතතීන්ගෙන් සෛල ආරක්ෂා කරන ආරක්ෂිත බාධකයක් නිර්මාණය කරමින් ඒවා මගින් අත්කරදෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ශක්තිමත් කරයි (Centurion et al., 2021).

 

 

රූපය 1. විවිධ ශාක රසායනික සංයෝග ඇතුළත් කරන ලද කිරි මෝරු ඇසුරින් ලබාගත්  ප්‍රෝටීන් මත පදනම් වූ නැනෝ-කැප්සියුලකරණය කරනු ලැබූ  ද්‍රව්‍ය.

 

රූපය 1 හි ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජෛව පද්ධති තාක්ෂණ අංශයෙහි  ආහාර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්  සිදු කරන ලද පර්යේෂණ ක්‍රියාකාරකම් වන අතර එහිදී , කිරි නිෂ්පාදන වලදී   ශාක ඇසුරින් ලබාගත් සංයෝගවල ස්ථායිතාව සහ බෙදා හැරීම වැඩි දියුණු කිරීම සඳහා කිරි මෝරු ඇසුරින් ලබාගත් ප්‍රෝටීන් මත පදනම් වූ නැනෝ-බෙදාහැරීමේ පද්ධති වැනි නැනෝ-කැප්සියුලකරණ ශිල්පීය ක්‍රම ක්‍රියාකාරීව අධ්‍යයනය කෙරේ.පෝෂ්‍ය ගුණය ඉහල නංවන ලද කිරි නිෂ්පාදන පැසවීම සහ ශීතකරණයේ ගබඩා කිරීමේදී ඒවායේ ජෛව ක්‍රියාකාරී ගුණාංග රඳවා ගැනීම සඳහා නැනෝ-කැප්සියුලකරණය කරනු ලැබූ ඖෂධීය සාරය ඇතුළත් කිරීම කෙරෙහි මෙම  පර්යේෂණය යටතේ අවධානය යොමු කෙරේ.

තාක්ෂණ පීඨය විසින් සිදු කරනු ලබන රසායනාගාර කටයුතු වලට අමතරව, පෝෂ්‍ය ගුණය ඉහල නංවන ලද කිරි ආහාර සඳහා නැනෝ තාක්‍ෂණය යොදාගැනීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් තක්සේරු කිරීම සඳහා රටපුරා පාරිභෝගික සමීක්ෂණයක්ද  පැවැත්වීමට කටයුතු යොදා ඇත. මුල් ප්‍රතිචාරවලින් පෙනී යන්නේ බොහෝ පුද්ගලයින් හට  නැනෝ තාක්‍ෂණය යන සංකල්පය නුහුරු  බවයි; කෙසේ වෙතත්, කෘත්‍රිම හෝ හානිකර ද්‍රව්‍යවලට වඩා ආරක්ෂිත, ස්වාභාවික, ආහාර ශ්‍රේණියේ ද්‍රව්‍ය එය හා සම්බන්ධිත බව තේරුම් ගැනීමෙන් පසු,  ඔවුන් මේ පිළිබඳ වැඩිදුර ඉගෙනීමට කුතුහලයකින්   හා කැමැත්තකින්  පසුවේ.

ආහාර පද්ධතිවල නැනෝ-කැප්සියුලකරණය භාවිතය  හා  බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්  වන්නේ නැනෝ-කැප්සියුලකරණය කළ ආහාර මිනිස් පරිභෝජනය සඳහා  ආරක්ෂිතද යන්නයි. පිළිතුර වනුයේ  වගකීමෙන් යුතුව සංවර්ධනය කළ විට, ඔව් යන්නයි.ආහාර කර්මාන්තයේ නැනෝ-කැප්සියුලකරණය සඳහා ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන ආහාර ශ්‍රේණියේ, ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍ය භාවිතා කරයි. යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වැනි නියාමන ආයතන නැනෝ-අමුද්‍රව්‍යවල ආරක්ෂාව ඇගයීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සපයා ඇත (Syed and Krishnamurthi, 2025). කිරි ප්‍රෝටීන සහ ස්වාභාවික පොලිසැකරයිඩ වැනි මෙහිදී  භාවිතා කරන ද්‍රව්‍ය විෂ සහිත නොවන බවත් මිනිස් ජීර්ණයට අනුකූල බවත් ශ්‍රී ලාංකික පර්යේෂකයින් සහතික කරයි. මෙම නැනෝ අංශු මිනිස් සිරුර තුළ හැසිරෙන ආකාරය තේරුම් ගැනීම සහ ඵලදායී හා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බෙදාහැරීමේ පද්ධති සැලසුම් කිරීම කෙරෙහි දැනට ක්‍රියාත්මකව පවතින  අධ්‍යයනයන් යටතේ අවධානය යොමු කර ඇත (Yildiz et al., 2025).

අවසාන වශයෙන් කිව හැකි වන්නේ , ආහාර ක්ෂේත්‍රයේ  නැනෝ තාක්‍ෂණය යනු විද්‍යා ප්‍රබන්ධයක් නොව වඩා හොඳ පෝෂණයක් සඳහා වන විද්‍යාවක් බවයි. එහිදී නැනෝ-කැප්සියුලකරණය යෝගට් සහ බටර් වැනි නිෂ්පාදන වඩා සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත බවට පත්කරමින්  පෝෂ්‍ය ගුණය ඉහල නංවන ලද කිරි ආහාර සඳහා  වටිනා පෝෂ්‍ය පදාර්ථ සපයා දීමට හා ඒවා ආරක්ෂා කිරීමට උපකාරී වේ.

Keywords: Nano-encapsulation, nano-carriers, functional dairy foods, bioavailability, stability

References

Al-subhi, F.M.M., 2025. Development, characterization, and prolonged shelf life of functional yogurt enriched with nanoencapsulated yellow Capsicum Annuum extract using whey protein. Applied Food Research 5, 100758. https://doi.org/10.1016/j.afres.2025.100758

Azarashkan, Z., Motamedzadegan, A., Ghorbani‐HasanSaraei, A., Biparva, P., Rahaiee, S., 2022. Investigation of the physicochemical, antioxidant, rheological, and sensory properties of ricotta cheese enriched with free and nano‐encapsulated broccoli sprout extract. Food Science & Nutrition 10, 4059–4072. https://doi.org/10.1002/fsn3.3001

Bhtoya, R., Pradhan, G., Kumar, S., Dobhal, A., 2025. Advanced fortification techniques in dairy products: enhancement of nutritional value through encapsulation. Nutrire 50, 22. https://doi.org/10.1186/s41110-025-00325-7

Centurion, F., Basit, A.W., Liu, J., Gaisford, S., Rahim, Md.A., Kalantar-Zadeh, K., 2021. Nanoencapsulation for Probiotic Delivery. ACS Nano 15, 18653–18660. https://doi.org/10.1021/acsnano.1c09951

Hanif, H., Arshad, M.S., Khalid, W., Madilo, F.K., Khalid, M.Z., Talah, A., Siddiqa, A., Luqman, A., Alharbi, S.A., Aljawdah, H.M., 2025. Evaluation of Nano‐Encapsulation of Sweet Lime Peel Extract Through Its Application on Irradiated Chicken Meat Patties. Food Science & Nutrition 13, e70124. https://doi.org/10.1002/fsn3.70124

Kumari, S., Debbarma, R., Hussain, S., 2025. Encapsulation strategies for enhancing the stability and shelf life of citrus bioactive compounds. Eur Food Res Technol 251, 3465–3487. https://doi.org/10.1007/s00217-025-04868-x

Maqsood, S., Dasgupta, P., Khalid, W., 2025. Optimizing Protein Absorption with Nano-Encapsulation, in: Chatterjee, A., Sarkar, T., Smaoui, S. (Eds.), Nanofuel: The Future of Sports Nutrition, Smart Nanomaterials Technology. Springer Nature Singapore, Singapore, pp. 133–159. https://doi.org/10.1007/978-981-96-5471-0_5

Rahim, M.A., Zahran, H.A., Jaffar, H.M., Ambreen, S., Ramadan, M.F., Al‐Asmari, F., Castro‐Muñoz, R., Zongo, E., 2025. Liposomal Encapsulation in Food Systems: A Review of Formulation, Processing, and Applications. Food Science & Nutrition 13, e70587. https://doi.org/10.1002/fsn3.70587

Regulatory principles on food nanoparticles legislated by Asian and Oceanian countries, 2021. , in: Safety and Regulatory Issues of Nanoencapsulated Food Ingredients. Academic Press, pp. 201–238. https://doi.org/10.1016/B978-0-12-815725-1.00006-9

Robles-García, M.Á., Del-Toro-Sánchez, C.L., Limón-Vargas, G., Gutiérrez-Lomelí, M., Avila-Novoa, M.G., Villalpando-Vargas, F.V., Vega-Ruiz, B., Bernal-Mercado, A.T., Iturralde-García, R.D., Gómez-Guzman, A.I.P., Ramírez-Briones, E., López-Berrellez, R.G., González-Vega, R.I., 2025. Development of Fucoxanthin-Enriched Yogurt Using Nanoliposomal Carriers: A Strategy for Functional Dairy Products with Antioxidant and Erythroprotective Benefits. Molecules 30, 1854. https://doi.org/10.3390/molecules30081854

Ruengdech, A., Mishra, D.K., Siripatrawan, U., 2025. Multifaceted roles of foam-mat freeze-dried catechins nanoencapsulation to enhance catechins stability and bioaccessibility, and quality of green tea catechins-fortified milk. Food Chemistry: X 27, 102391. https://doi.org/10.1016/j.fochx.2025.102391

Sonmezler, D., Yazıcıoğlu, N., Sumnu, G., Sahin, S., 2025. Encapsulation of Olive Leaf Extract by Double Emulsion Method for Enriched Bakery Products: Enhancing Stability and Functionality. Food Bioprocess Technol 18, 3356–3374. https://doi.org/10.1007/s11947-024-03671-y

Syed, N., Krishnamurthi, V., 2025. From Nano to Nutrition: Advancing Food Science through Nanotechnology. Translational Food Sciences vxaf018. https://doi.org/10.1093/trfood/vxaf018

Teulon, J.-M., Godon, C., Chantalat, L., Moriscot, C., Cambedouzou, J., Odorico, M., Ravaux, J., Podor, R., Gerdil, A., Habert, A., Herlin-Boime, N., Chen, S., Pellequer, J.-L., 2018. On the Operational Aspects of Measuring Nanoparticle Sizes. Nanomaterials 9, 18. https://doi.org/10.3390/nano9010018

Yildiz, E., Sumnu, G., Khwaldia, K., Rathod, N., Centobelli, P., Kulawik, P., Kaddour, A.A., Dapcevic‐Hadnadev, T., Ozogul, F., 2025. Recent Developments Towards Sustainable Solutions in Electrospun Active Packaging Systems for Various Foods. Comp Rev Food Sci Food Safe 24, e70280. https://doi.org/10.1111/1541-4337.70280

Zhang, Z., Li, X., Sang, S., McClements, D.J., Chen, L., Long, J., Jiao, A., Jin, Z., Qiu, C., 2022. Polyphenols as Plant-Based Nutraceuticals: Health Effects, Encapsulation, Nano-Delivery, and Application. Foods 11, 2189. https://doi.org/10.3390/foods11152189

කතුවරුන්:

පී.ආර්. හංසනී කේ. කුමාරි මෙනවිය
පර්යේෂණ සහකාර,
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,
තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

ආචාර්ය ඒ.එම්.ඒ.යූ. අලහකෝන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,
තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

ආචාර්ය නිලුනි එම්. විජේසුන්දර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව,
සත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය,
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ආචාර්ය රුමේෂ් ලියනගේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,
තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මහාචාර්ය රනිල් කුරේ
අණුක හා ජීව විද්‍යා පාසල,
කර්ටින් විශ්ව විද්‍යාලය.

Author

Related Articles

Back to top button