දේශීය පලා වර්ග පරිභෝජනය පිළිබඳ විද්‍යාත්මක ප්‍රවේශයක්
ආචාර්ය සුමුදු මාපා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ලක්‍ෂාණී දහනායක-ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

කොළ පැහැති පලා වර්ග අතීතයේ සිටම ශ්‍රී ලාංකීය ජනයාගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයක් විය. කුඩා මැටි නිවසක ඇඹුල තනන ගැමි ලියන් මෙන්ම නාගරික කාර්යබහුල ගෘහනියන් ද, පලා මැල්ලුම නිරන්තරයෙන් තම කෑම වේලට මුසු කර ගනී. විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වන පරිදි, පලා වර්ග යනු අත්‍යවශ්‍ය පෝෂක වර්ග ගණනාවක් අඩංගු වන ආහාරයකි. ඒවායේ විටමින්, ඛනිජ ලවණ, සහ තන්තු බහුල වශයෙන් අන්තර්ගත වන අතර, කදිම ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයකි. මෙම ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසාම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ ද, බෝ නොවන රෝග වලින් පෙළෙන්නන් සඳහා වැඩි වශයෙන් පලා වර්ග ආහාරයට ගැනීම නිර්දේශ කරනු ලැබේ.

රූපය 1: ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ගොටුකොල (අ, ආ, ඇ) කංකුං (ඈ, ඉ, ඊ) සහ නිවිති (උ, ඌ) ප්‍රභේද කිහිපයක්.
පෝෂණ ගුණය පමණක් නොව, පලා වර්ග යනු වසර පුරාවට පහසුවෙන් සපයා ගත හැකි මිලෙන් අඩු ආහාර ප්‍රභවයකි. ශ්‍රී ලංකාවේ පලා විශේෂ විශාල සංඛ්‍යාවක් පරිභෝජනය කරන අතර, ඒවායින් ඇතැම් විශේෂ, ප්‍රභේද ගණනාවකින් ද යුක්ත වේ (රූපය 1). උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ මුකුණුවැන්න ප්‍රභේද හතක් පමණ දක්නට ලැබෙන අතර, ගොටුකොළ ප්‍රභේද හතරක් පමණ ඇත. කෙසේ වුවද, ඇතැම් පලා වර්ග, යම් යම් ප්‍රදේශ වලට හෝ වසරේ යම් කාලයකට සීමා වන අතර, වඩාත් ජනප්‍රිය විශේෂ දිවයින පුරා, වසරේ ඕනෑම කාලයක දැකිය හැකි වේ. විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කර ඇති පරිදි පලා වර්ග වල පෝෂණ ගුණය විවිධ සාධක මත රඳා පවතී. එනම්, පලා විශේෂය සහ ප්‍රභේදය, වර්ධන අවධිය, වගා ප්‍රදේශය හා වගාව සිදු කරන කාලය මෙන්ම, වගාවේදී භාවිත කරන පොහොර වර්ගය අනුවද පෝෂණ ගුණය වෙනස් විය හැක.
මෙම පලා වර්ග වල ස්ථානුකූල විවිධත්වය සහ පරිභෝජනයේ විෂමතා පිළිබඳව අපි ප්‍රමාණවත් පරිදි දැනුවත් ද යන්න ගැටලුවකි. මේ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ජෛව පද්ධති තාක්ෂණවේද අධ්‍යනාංශයේ අප විසින් සම්මුඛ සාකච්ඡා සහ මාර්ගගත ප්‍රශ්නාවලි මගින් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කළෙමු. මෙම අධ්‍යයනය ආචාර්ය සුමුදු මාපා, ආචාර්ය චමිල කඩිගමුව, මහාචාර්ය ධනුෂ්ක උදයංග, සහ පර්යේෂණ සහයිකා ලක්‍ෂාණී දහනායක විසින් මෙහෙයවන ලදී. නිවාස අටසීයක් පමණ සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වූ අතර, එමගින් ශ්‍රී ලාංකික ආහාර රටාවේ පලා වර්ග භාවිතය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය. මෙම සමීක්ෂණයේදී, ප්‍රතිචාර දක්වන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික හා අධ්‍යාපන මට්ටම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.
අපගේ සමීක්ෂණ දත්ත වලට අනුව, විවිධාකාර පලා වර්ග තිස්දෙකකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් නිරතුරුවම පරිභෝජනය කරන බව හඳුනා ගත හැක. ඒවා අතුරින් පලා වර්ග හතක් ජනප්‍රියම පලා වර්ග ලෙස කැපී පෙනුනි. ඒවා නම්, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුන්, කතුරුමුරුංගා, නිවිති, සාරන, සහ තම්පලා වේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක්, ගොටුකොළ තම ප්‍රියතම පලා වර්ගය ලෙස සඳහන් කර තිබුණු අතර, ඔවුන් ගොටුකොළ සම්බෝල, මැල්ලුම්, හා කැඳ ලෙස බහුලව ආහාරයට ගනු දක්නට ලැබුණි. එලෙසම, අපගේ දෛනික ආහාර වේලෙහි නිරතුරු දක්නට ලැබෙන මුකුණුවැන්න හා කංකුන් සඳහා සමාන ජනප්‍රියත්වයක් නිරීක්ෂණය කළ හැකි විය. ඉහත සඳහන් පලා වර්ග අතුරින් අවම රුචිකත්වයක් සාරන හා තම්පලා වලට හිමිවිය.
මෙම දීප ව්‍යාප්ත සමීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස අප කලාතුරකින් අසා ඇති, නූතන සමාජයේ අවධානයට එතරම් පාත්‍ර නොවූ, නමුත් ආයුර්වේදමය වටිනාකමින් අනූන, පලා වර්ග රැසක් ද අප හට හඳුනා ගත හැකි විය. ඉන් කිහිපයක් නම්, මස්බැද්ද, පිටවක්කා, කැබැල්ල දළු, මැල්ල, වෙල් මුඩ/මුඩමහණ, කෝවක්කා, තැල්කොළ, වැලිවැන්න, මුස්වැන්න, කළුකම්බේරිය, මදටිය දළු, දිය මෙනේරිය, මියන දළු, ගිනිතිල්ල යන පලා වර්ග වේ. ඔබ මින් පෙර මේවායෙන් කොපමණ සංඛ්‍යාවක් ආහාරයට ගෙන තිබේ ද?
ශ්‍රී ලාංකිකයින්ගේ පලා වර්ග පරිභෝජන රටාව සහ සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික හා අධ්‍යාපන මට්ටම අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අප මීළඟට විමසා බලමු. මෙහිදී පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය හා පලා වර්ග පරිභෝජන රටාව අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීමට අපට හැකි විය. ගොටුකොළ හා කංකුන් සඳහා දියවැඩියා රෝගීන් අතර ඉහළ රුචිකත්වයක් තිබූ අතර, ඉහළ රුධිරගත කොලෙස්ටෙරෝල් අගයක් දැක්වූ රෝගීන් මුකුණුවැන්න හා නිවිති වැඩිපුර ආහාරයට එක් කර ගැනීමට නැඹුරුවක් දක්නට ලැබුණි. මීට අමතරව ආදායම් සහ අධ්‍යාපන මට්ටම් වල වෙනස්කම් මත ද පලා වර්ග පරිභෝජනයේ රඳා පැවැත්මක් අප නිරීක්ෂණය කළෙමු. මෙහිදී මාසික ආදායම රුපියල් 30,000 ත් 80,000 ත් අතර උපයන පවුල් අතර මුකුණුවැන්න පරිභෝජනය ඉහළ බව අනාවරණය විය. ඉහළ ආදායම් ලබන පවුල් එක් පලා වර්ගයක් සඳහා විශේෂ වූ ප්‍රියතාවයක් නොදක්වා, විවිධාකාර පලා වර්ග ආහාරයට මුසු කර ගන්නා බව අප විසින් හඳුනා ගතිමු. එලෙසම, අප සමීක්ෂණයට අනුව සතියක් තුළ සමස්ත පලා පරිභෝජන වාර ගණන කෙරෙහි ද ආදායම් මට්ටමේ සුළු බලපෑමක් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. එලෙසම ඉහළ අධ්‍යාපන මට්ටම්වල පුද්ගලයින්ගේ සතියක් තුළ ඉහළ වාර ගණනකින්, පලා වර්ග පරිභෝජනය වාර්තා විය. මෙය අධ්‍යාපනය හා බැඳී පවතින පලා වර්ග අනුභවයෙන් ඇති සෞඛ්‍යමය වාසි කෙරෙහි ඇති දැනුවත්භාවය පිළිබඳ සියුම් ඉඟියක් ලබාදෙයි. එමෙන්ම විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කරගත් පෝෂණ මට්ටමින් ඉහළ සාරන හා තම්පලා වැනි පලා වර්ග සඳහා අවම රුචිකත්වයක් පවතිනුයේ ඒ සඳහා ඇති සීමිත දැනුවත්භාවය සහ ප්‍රාදේශීය සුලභතාවය වැනි සාධක මත යැයි අනුමාන කළ හැක.
මෙම සමීක්ෂණයට අනුව සෞඛ්‍ය තත්ත්වය, ආදායම් හා අධ්‍යාපන මට්ටම වැනි සාධක, ශ්‍රී ලාංකීය ජනයාගේ ආහාර තේරීමෙහිලා බලපෑමක් ඇති කරන බව පෙන්වා දෙයි. මේ අනුව මහජන දැනුවත්භාවය වැඩි කිරීම, ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම, හා වෙළඳපළ මිල පහළ අගයක පවත්වා ගැනීම මගින් සියලුම පාරිභෝගිකයන් සඳහා පෝෂණ ප්‍රභවයක් ලෙස මෙම පලා වර්ග පරිභෝජනය පුළුල් කළ හැක.
එලෙසම ශ්‍රී ලාංකීය ජනයාගේ පලා පරිභෝජන රටා අධ්‍යයනය මගින් කෘෂිකර්මාන්තය, ආහාර තාක්ෂණය, සෞඛ්‍ය සහ වෙළඳපළ ආශ්‍රිත නව නිපැයුම් සඳහා අවස්ථාව සැලසේ. එනම්, පලා පරිභෝජන රටාවලට අනුකූලව, වඩා ජනප්‍රිය පලා වර්ග සඳහා සිරස් ගොවිතැන, හයිඩ්‍රොපොනික් (වගා මාධ්‍ය ලෙස, පෝෂක දියර තුළ වගා කිරීම), ඇරොපොනික් (මුල් වායුවට නිරාවරණය කර, පෝෂක දියර ස්ප්‍රේ කිරීම), ග්‍රීන්හවුස් වගාව, සහ නගර ගොවිතැන (ගෙවතු, බැල්කනී, වහල මත වගා කිරීම) වැනි නව වගා ක්‍රම හඳුන්වා දිය හැක. එමගින් සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති නාගරික ප්‍රජාව හට ද, තිරසාර ආහාර නිෂ්පාදනය කෙරෙහි තම දායකත්වය ලබා දිය හැක. එලෙසම ආහාර තාක්ෂණයට අදාළව නව නිපැයුම් ලෙස පලා වර්ග පාදක කරගත් නව පෝෂණ අතිරේක මෙන්ම, වෙළඳපළ සඳහා වටිනාකම එකතු කළ නිෂ්පාදන සිදු කළ හැක. මෙවැනි සමීක්ෂණවල ප්‍රතිඵල දේශීය නිපැයුම් වැඩිදියුණු කිරීම මෙන්ම, ලාංකීය ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමෙහිලා, මහඟු කාර්යයක් ඉටු කරනු ඇත.

ආචාර්ය සුමුදු මාපා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ලක්‍ෂාණී දහනායක
ජෛව පද්ධති තාක්ෂණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය



