සහශ්‍රයේ අණුව
දුලාංජලී රාජපක්ෂ මෙනවිය - හිටපු විද්‍යාත්මක නිලධාරී - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

පිළිකා හඳුනා ගැනීම සඳහා බහුලව යොදා ගන්නා FDG, 2-[18F]fluoro-2-deoxyglucose, සරල ව fluorodeoxyglucose-18 එහි ඇති වැදගත්කම නිසාම සහශ්‍රයේ අණුව ලෙස හඳුන්වයි. මෙම අණුව ග්ලුකොස් අණුවට සමාන අණුවක් වන අතර එයට 18F (Fluorine) පරමාණුවක් සම්බන්ධ වී ඇත.

අපි බොහෝ දෙනෙක් දන්නා PET (Positron emission tomography) scan කිරීම සඳහා බහුලව ම භාවිතා කරනු ලබන්නේ FDG ලෙස හදුන්වන විකිරණ ශීලී ඖෂධය වන අතර මෙය ප්‍රථමයෙන්ම PET-scan සඳහා යොදා ගත් විකිරණ ශීලී ඖෂධය ද වේ.

ඉතිහාසයෙන් බිඳක්…
1961 දී, බෘක් හෙවන් විද්‍යාගාරයේ (Brookhaven National Laboratory), ජේම්ස් රොබට්සන් ඇතුළු කණ්ඩායම පළමු ඒක තල PET scan (single-plane PET scan) ක්‍රමවේදය නිපද වූ අතර එය “head-shrinker” යන අන්වර්ථ නාමයෙන් හැදින්විණි. එම කාලයේදීම බෘක් හෙවන් කණ්ඩායමේ මග පෙන්වීම යටතේ අල් වුල්ෆ් සහ ජෝආනා ෆව්ලර් විසින් 2-fluorodeoxy-D-glucose (2FDG) නිපදවීම PET scan ක්‍රමවේදයේ යොදා ගැනීම් පුළුල් කිරීමට ප්‍රධාන සාධකයක් විය. 1976 අගෝස්තු මාසයේදී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ අබාස් අලාවි විසින් මෙම සංයෝගය ප්‍රථම වරට ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකුට ලබා දුන් අතර අද වන විට ඉතා බහුලව, ලෝකය පුරා PET imaging සදහා 2FDG යොදා ගනියි.
FDG වලින් ඇති ප්‍රයෝජන මොනවාද?
මේ වන විට ලෝකයේ බොහෝ රටවල පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා පුළුල් වශයෙන් FDG-PET-scan යොදා ගනු ලබයි. PET-scan කිරීම මගින් පිළිකා සෛල හඳුනා ගැනීම, පිළිකා සෛල පැතිරී ඇති ආකාරය හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාර වලින් පසුව නැවත පිළිකා සෛල වර්ධනය නිරීක්ෂණයද සිදු කල හැකි ය. මේ නිසා පිළිකා රෝගී තත්ත්ව සඳහා කල යුතු නිවැරදිම ප්රතිකර්මය තීරණය කිරීම මෙමගින් කල හැකි බැවින් පිළිකා රෝගීන් හට PET -scan මහත් අස්වැසිල්ලක් වේ.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
PET-scan කිරීමේදී මෙම විකිරණශීලී ඖෂධයෙන් කුඩා මාත්‍රාවක් රෝගියා හට එන්නත් කරනු ලබයි. මෙම FDG අණුව ග්ලුකොස් අණුවට සමාන අණුවක් නිසා අප ශරීරයේ සෛල වලට පහසුවෙන් අවශෝෂණය කර ගනියි. ඒ අතර පිළිකා සෛල සාමාන්‍යයෙන් නිරෝගී සෛල වලට වඩා වැඩි ශක්තියක් භාවිතා කිරීම නිසා, වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් අවශෝෂණය කරන බැවින්, පිළිකා සෛල, සාමාන්‍ය දේහ සෛල වලට වඩා වැඩි FDG අණු ප්‍රමාණයක් අවශෝෂණය කර ගනියි. මේ නිසාවෙන් PET ස්කෑන් පරීක්ෂණයෙන්, ශරීරයේ විකිරණශීලී FDG ඖෂධ වැඩි වශයෙන් තිබෙන ස්ථාන නිරීක්ෂණය කර පිළිකා සෛල හඳුනාගත හැකිය.
FDG නිෂ්පාදනය කරන්නේ කොහොමද?
මෙම විකිරණ ශීලී ඖෂධය ඉතා විශේෂිත ලෙස පියවර කිහිපයකින් නිපදවීමට සිදු කරයි. මෙම ඖෂධය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යය ජලය වේ. නමුත් ඒ සාමාන්‍ය ජලය නොව, ඔක්සිජන්-18 ([18O]H₂O) නම් සමස්ථානිකයෙන් සංතෘප්ත වූ ජලයයි. එමෙන්ම cyclotron නම් විශේෂිත උපකරණයක් තුල තමයි මේ විශේෂිත ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ. Cyclotron කියන්නේ ප්‍රෝටෝන හෝ ඉලෙක්ට්‍රෝන වැනි උප පරමාණුක අංශු චුම්බක ක්ෂේත්රයක තුල, සර්පිලාකාර පථයක, ඉතා ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීම සිදු කරන උපකරණයකි (particle accelerator).

Cyclotron තුලදී සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් 18-O සමස්ථානික පරමාණු [18-F] පරමාණු බවට පරිවර්තනය වීම සිදුවෙනවා. මෙම 18-F, අයන හුවමාරු ක්රොමැටෝග්රැෆි (ion exchange chromatography) ක්‍රමවේදය මගින් පහසුවෙන් වෙන් කර ගනු ලබනවා.

පසුව එම 18F පරමාණු කාබන් පරමාණු 6ක් ඇති mannose triflate සමග ප්‍රතික්‍රියාවකින් පසුව [18F]FDG බවට ස්වයංක්‍රිය hot cells සහ සංස්ලේෂක (synthesizer) විද්‍යාගාර තුලදී පත් කරනු ලබයි. මෙම FDG සතු ඉතාම වැදගත් ලක්ෂණයක් වන්නේ මෙම විකිරණශීලී ඖෂධයේ අර්ධ ආයු කාලය විනාඩි 109 ක් පමණ වීමයි. මේ නිසා අනෙකුත් විකිරණ ශීලී ප්‍රතිකර්ම වලට වඩා මෙම FDG PET-scan පරික්ෂාවට යොමුවන්නන් නිරාවරණය වන්නේ සුළු විකිරණ මාත්‍රාවකට පමණි.
කෙසේ වුවද FDG යනු විකිරණශීලී ඖෂධයක් බැවින් ඉතා නිවැරදි, යහපත් කළමනාකරණ ක්‍රමවේද (GMP) අනුගමනය කරමින් නිෂ්පාදනය සිදුකල යුතු මෙන්ම ප්‍රතිකාර සදහා යොමු කිරීමට ප්‍රථම තත්ත්ව පරීක්ෂාවන් (Quality Control test) සිදු කිරීමත් අනිවාර්ය අවශ්‍යතාවයන් වේ. අවධානය යොමු කල යුතු ඉතා වැදගත් කාරණයක් වන්නේ මෙම ඖෂධය නිපදවීමේ මූලික පිරිවැය ආයෝජනය ඉතා ඉහළ වුවත් නිෂ්පාදන වියදම ඉතා අවම වීමයි.

දුලාංජලී රාජපක්ෂ මෙනවිය
(හිටපු විද්‍යාත්මක නිලධාරී – ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය)
PhD Student – University of Tasmania
Australia




