විකිරණශීලී ඖෂධවේදයේ විප්ලවය: සාම්ප්‍රදායික ප්‍රතිකාර වලින් තෙරනොස්ටික්ස් (Theranostics) යුගය කරා
ප්‍රියංග රත්නායක මහතා - නියෝජ්‍ය අධ්යක්ෂ (ප්‍රවර්ධන), ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB).

අණුක මට්ටමින් රෝග හඳුනා ගැනීම සහ ඉලක්කගත ප්‍රතිකාර කිරීම මඟින් අනාගත වෛද්‍ය විද්‍යාව හැඩගස්වන විප්ලවීය විකිරණශීලී ඖෂධ වේදය පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක්.
වර්තමානයේ වඩාත්ම අවධානයට ලක්වන සහ අනාගත වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කිරීමට සමත් ක්ෂේත්රයක් ලෙස විකිරණශීලී ඖෂධ වේදය (Radiopharmaceuticals) හැඳින්විය හැකිය. විශේෂයෙන්ම, සාම්ප්‍රදායික විකිරණ රෝග විනිශ්චය ක්‍රම වේදයන්ගෙන් ඔබ්බට යමින්, රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය එකම අවස්ථාවක සිදු කළ හැකි තෙරනොස්ටික්ස් (Theranostics) සංකල්පය වෛද්‍ය ලෝකයේ නවතම විප්ලවයයි.
1. සාම්ප්‍රදායික විකිරණශීලී ඖෂධ (Traditional Radiopharmaceuticals)
සාම්ප්‍රදායිකව විකිරණශීලී ඖෂධ වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් අවස්ථා දෙකකදී භාවිත කෙරේ:
-
රෝග විනිශ්චය (Diagnosis): ශරීරය තුළ ඇති ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරිත්වය හෝ පිළිකා සෛල පවතින ස්ථාන සිතියම්ගත කිරීම සඳහා ඉතා අඩු විකිරණ මාත්‍රාවක් සහිත ඖෂධ ශරීරයට ඇතුල් කරනු ලබයි. උදාහරණයක් ලෙස SPECT සහ PET ස්කෑන් (PET Scans) සඳහා Technetium-99m හෝ Fluorine-18 වැනි විකිරණශීලී සමස්ථානික බහුලව භාවිත වේ.

-
රෝග ප්‍රතිකාර (Therapy): පිළිකා සෛල විනාශ කිරීම සඳහා ඉහළ ශක්තියකින් යුත් විකිරණ නිකුත් කරන Iodine-131 වැනි විකිරණශීලී සමස්ථානික භාවිත කෙරේ (උදාහරණයක් ලෙස තයිරොයිඩ් පිළිකා සඳහා).
-
පවතින සීමාවන්: සාම්ප්‍රදායික ක්රමවේදයන්හිදී රෝගය හඳුනා ගැනීම සඳහා එක් ඖෂධයක් සහ ප්‍රතිකාරය සඳහා සම්පූර්ණයෙන් ම වෙනස් බාහිර විකිරණ (Radiotherapy) හෝ රසායනික ප්‍රතිකාර (Chemotherapy) ආදී වෙනත් ක්‍රම වේදයක් භාවිත කිරීමට සිදු වේ. මෙහිදී නිරෝගී සෛලවලටද හානි සිදුවීමේ අවදානමක් පවතී.
2. තෙරනොස්ටික්ස් (Theranostics) සංකල්පය සහ ක්‍රියාකාරීත්වය
“Theranostics” යනු Therapeutics (ප්‍රතිකාරය) සහ Diagnostics (රෝග විනිශ්චය) යන වචන දෙක එකතු වීමෙන් සෑදුණු වෛද්‍ය සංකල්පයකි. මෙහි මූලික පදනම වන්නේ “අපට පෙනෙන දේට අප ප්‍රතිකාර කරයි, අප ප්‍රතිකාර කරන දේ අපට පෙනේ” (We treat what we see, and we see what we treat) යන්නයි.
මෙම ක්‍රම වේදයේදී සිදුවන්නේ එකම අණුක ව්‍යුහයක් වාහකයක් (Molecular Vehicle/ Targeting Agent) ලෙස භාවිත කරමින්, රෝග විනිශ්චය සඳහා එක් විකිරණශීලී සමස්ථානිකයක්ද, ප්‍රතිකාරය සඳහා තවත් විකිරණශීලී සමස්ථානිකයක්ද මාරු කරමින් භාවිත කිරීමයි.
[Targeting Ligand] + [Diagnostic Isotope (e.g., Ga-68)] ➡️ PET/CT Scan (We See)
[Targeting Ligand] + [Therapeutic Isotope (e.g., Lu-177)] ➡️ Targeted Therapy (We Treat)
3. රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක්
-
අණුක මට්ටමින් රෝග විනිශ්චය (Molecular Diagnostics): මෙහිදී භාවිත වන ඉලක්කගත අණු (Ligands) ශරීරයේ ඇති පිළිකා සෛල මත පමණක් අධික ලෙස ප්‍රකාශ වන ප්‍රතිග්‍රාහක (Receptors) සමඟ අගුලට ගැලපෙන යතුරක් (Lock & Key) මෙන් බන්ධනය වේ.
-
Gallium-68 සහ Fluorine-18: මේවා PET/CT ස්කෑන් යන්ත්‍ර මඟින් හඳුනාගත හැකි පැහැදිලි පොසිට්‍රෝන (Positrons) නිකුත් කරයි. පිළිකා සෛල පවතින නිවැරදි ස්ථාන, ඒවායේ ප්‍රමාණය සහ ශරීරය පුරා පැතිරී ඇති ආකාරය (Metastasis) ත්‍රිමාණව සිතියම්ගත කිරීමට මෙමඟින් සෛලීය මට්ටමින් හැකියාව ලැබේ.
-
අණුක මට්ටමින් රෝග ප්‍රතිකාර (Molecular Therapeutics): රෝග විනිශ්චය මඟින් පිළිකා සෛල පවතින බව තහවුරු වූ පසු, එම අණුවටම ප්‍රතිකාර කළ හැකි ප්‍රබල බීටා (beta) හෝ ඇල්ෆා (alpha) අංශු නිකුත් කරන, විකිරණ ශීලී ද්‍රව්‍යයක් සම්බන්ධ කර ශරීරයට ඇතුල් කරයි.
-
Lutetium-177: මෙය මිලිමීටර කිහිපයක පරාසයක් ඇති බීටා අංශු නිකුත් කරමින් පිළිකා සෛල, ඒවා අභ්‍යන්තරයේ සිටම විනාශ කරයි.

අර්ධ ආයු කාලයේ ඇති වැදගත්කම
තෙරනොස්ටික්ස් තාක්ෂණයේ සාර්ථකත්වය තීරණය වන ප්‍රධානතම සාධකයක් වන්නේ භාවිත වන විකිරණශීලී සමස්ථානික සතු අර්ධ ආයු කාලයයි (Half-life). රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය යන කාර්යයන් දෙකෙහි වෙනස් අවශ්‍යතා මත මෙම කාල සීමාවන් විද්‍යාත්මකව තෝරාගනු ලබයි:
-
රෝග විනිශ්චය සමස්ථානික (Diagnostic Isotopes): මේවා සතුව පවතින්නේ ඉතා කෙටි අර්ධ ආයු කාලයකි. උදාහරණයක් ලෙස Gallium-68 සතු අර්ධ ආයු කාලය විනාඩි 68 ක් පමණක් වන අතර Fluorine-18 සඳහා එය විනාඩි 110කි. මෙහි වාසිය වන්නේ රෝගියාගේ ශරීරය ස්කෑන් කර අවසන් වූ පසු, විකිරණශීලී ද්‍රව්‍ය ඉතා වේගයෙන් ක්ෂය වී විනාශ වී යාමයි. එමඟින් රෝගියාගේ ශරීරයට අනවශ්‍ය විකිරණ මාත්‍රාවක් ඇතුල් වීම වළකී.
-
ප්‍රතිකාර සමස්ථානික (Therapeutic Isotopes): පිළිකා සෛල අඛණ්ඩව විනාශ කිරීම සඳහා මේවා සතුව දිගු අර්ධ ආයු කාලයක් පැවතිය යුතුය. උදාහරණයක් ලෙස තෙරනොස්ටික්ස් හි බහුලව භාවිත වන Lutetium-177 සමස්ථානිකයෙහි අර්ධ ආයු කාලය දින 6.7කි. එමඟින් දින කිහිපයක් පුරා පිළිකා සෛලවල DNA වෙත විකිරණ ප්‍රහාර එල්ල කරමින් එම සෛල සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමේ හැකියාව ඖෂධයට ලැබේ.
බහුලව ප්‍රධාන තෙරනොස්ටික් යුගල කිහිපයක් පහත දක්වා ඇත
-
PSMA Targeting (පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා):
-
රෝග විනිශ්චය: 68-Ga-PSMA-11
-
ප්‍රතිකාරය: 177-Lu-PSMA-617 (Pluvicto). පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෛල මතුපිට ඇති Prostate-Specific Membrane Antigen ඉලක්ක කරයි.
-
-
Somatostatin Receptor Targeting (නියුරෝඑන්ඩොක්රයින් පිළිකා සඳහා):
-
රෝග විනිශ්චය: 68-Ga-DOTATATE
-
ප්‍රතිකාරය: 177-Lu-DOTATATE (Lutathera). ශරීරයේ හෝමෝන නිපදවන සෛලවල ඇතිවන පිළිකා (Neuroendocrine Tumors) සාර්ථකව විනාශ කරයි.
-
-
CXCR4 Targeting (රුධිර සහ මස්තිෂ්ක පිළිකා සඳහා):
-
රෝග විනිශ්චය: 68-Ga-Pentixafor
-
ප්‍රතිකාරය : 177-Lu-Pentixather හෝ 90-Y-Pentixather. රුධිර පිළිකා (Lymphoma/ Myeloma) සෛලවල ඇති විශේෂිත ප්‍රතිග්‍රාහක ඉලක්ක කර ගනී.
-
4. ඉලක්කගත ඇල්ෆා ප්‍රතිකාර ක්‍රමය (Targeted Alpha Therapy – TAT)
වර්තමාන තෙරනොස්ටික්ස් ක්ෂේත්රයේ සිදුවන විශාලතම සහ ප්රබලතම පිම්ම වන්නේ ඉලක්කගත ඇල්ෆා ප්‍රතිකාරය (Targeted Alpha Therapy – TAT) යි. බීටා විකිරණවලට සාපේක්ෂව ඇල්ෆා (alpha) විකිරණ සතු සුවිශේෂී භෞතික ලක්ෂණ නිසා එය පිළිකා නාශකයක් ලෙස අතිශය විප්ලවීය වී ඇත.

ඇල්ෆා විකිරණවල ඇති සුවිශේෂී විද්‍යාත්මක වාසි:
-
ඉහළ රේඛීය ශක්ති හුවමාරුව (High Linear Energy Transfer – LET): ඇල්ෆා අංශු (හීලියම් න්‍යෂ්ටි) බීටා අංශුවලට (ඉලෙක්ට්‍රෝන) වඩා බරින් වැඩිය. මේ නිසා ඒවා බීටා අංශු වලට වඩා සිය ගුණයකට වඩා වැඩි ශක්තියක් ඉතා කෙටි දුරක් තුළ මුදාහරියි.
-
පිළිසකර කල නොහැකි DNA හානිය (Irreparable DNA Damage): බීටා විකිරණ මඟින් පිළිකා සෛලවල DNA වල තනි දාමයක් (Single-strand break) පමණක් කඩා දමන අතර, එය රසායනිකව නැවත යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. නමුත් ඇල්ෆා අංශු මඟින් DNA ද්විත්ව දාමයම සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමයි (Double-strand breaks). මෙයින් පිළිකා සෛලයට නැවත පණ ගැන්වීමට කිසිසේත් ඉඩක් නොලැබේ.
-
කෙටි විනිවිද යාමේ පරාසය (Short Tissue Range): ඇල්ෆා අංශුවලට මිනිස් පටක තුළ ගමන් කළ හැක්කේ සෛල කිහිපයක (මයික්‍රොමීටර 40-100) දුරක් පමණි. මේ නිසා විකිරණ ප්‍රහාරය පිළිකා සෛලයට පමණක් සීමා වන අතර, අවට ඇති නිරෝගී සෛලවලට කිසිඳු හානියක් සිදු නොවේ.
ප්‍රධාන ඇල්ෆා සමස්ථානික:
-
Actinium-225: වර්තමානයේ වඩාත්ම කතාබහට ලක්වන ඇල්ෆා සමස්ථානිකයයි. වෙනත් කිසිදු ප්‍රතිකාරයකින් සුව කළ නොහැකි, ශරීරය පුරා පැතිරී ගිය පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Advanced Metastatic Prostate Cancer) රෝගීන් පවා සම්පූර්ණයෙන්ම සුව කිරීමට 225-Ac-PSMA ප්‍රතිකාරය සමත් වී ඇත.
-
Lead-212 සහ Astatine-211: මේවාද දැනට සායනික පරීක්ෂණ මට්ටමේ පවතින බලාපොරොත්තු තැබිය හැකි අනෙකුත් ඇල්ෆා සමස්ථානික වේ.
සාම්ප්‍රදායික ක්‍රම සහ තෙර නොස්ටික්ස් අතර සංසන්දනය
| ලක්ෂණය | සාම්ප්‍රදායික විකිරණ/රසායනික ප්‍රතිකාර | තෙරනොස්ටික්ස් (Theranostics) |
| ඉලක්කය (Targeting) | පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛලවලටද සැලකිය යුතු බලපෑමක් එල්ල වේ. | පිළිකා සෛල පමණක් ඉතා නිවැරදිව ඉලක්ක කරයි (Targeted Therapy). |
| අතුරු ආබාධ | කෙස් යෑම, දැඩි තෙහෙට්ටුව, වමනය සහ ප්‍රතිශක්තිය අඩු වීම. | ඉතා අවම අතුරු ආබාධ ප්‍රමාණයක් පැවතීම. |
| පුද්ගලානුබද්ධතාවය | සැමට පොදු එකම ප්‍රතිකාර ක්‍රමවේදයක් (One-size-fits-all). | රෝගියාගෙන් රෝගියාට ගැලපෙන පුද්ගලානුබද්ධ වෛද්‍ය ක්‍රමය (Personalized Medicine). |
| ප්‍රතිඵල නිරීක්ෂණය | ප්‍රතිකාරයේ සාර්ථකත්වය බැලීමට මාස කිහිපයක් බලා සිටිය යුතුය. | ප්‍රතිකාරය සිදුවන අතරතුරදීම එහි ප්‍රගතිය ස්කෑන් මඟින් දැක ගත හැක. |
විකිරණශීලී ඖෂධ වේදයේ සිදුවන මෙම පරිවර්තනය වෛද්‍ය ඉතිහාසයේ රෝගී සත්කාරය සම්බන්ධයෙන් තැබූ යෝධ පියවරකි. සාම්ප්‍රදායික අන්ධ ප්‍රතිකාර ක්‍රම වේදයන්ගෙන් මිදී, සෛලීය මට්ටමින් රෝග හඳුනාගෙන නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තෙර නොස්ටික්ස් සහ ඇල්ෆා ප්‍රතිකාරය මඟින් මානව වර්ගයාට උදාකර දී ඇත.
ඉදිරි දශකය තුළ පිළිකාවලට අමතරව හෘද රෝග (Cardiovascular diseases) සහ මොළය ආශ්රිත රෝග (උදා: ඇල්සයිමර් රෝගය) මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට නව විකිරණශීලී අණු නිපදවීම කෙරෙහි ගෝලීය අවධානය යොමුවී ඇත. තාක්ෂණයේ දියුණුවත් සමඟ පිරිවැය අඩු වන විට, විවිධ මාරක රෝග පරාජය කිරීමේ ප්‍රධානතම අවිය බවට විකිරණශීලී තෙරනොස්ටික්ස් පත්වනවා නොඅනුමානය.

ප්‍රියංග රත්නායක මහතා
නියෝජ්‍ය අධ්යක්ෂ (ප්‍රවර්ධන),
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB).


