ආසන්න අධෝරක්ත (NIR) තාක්ෂණය: ශ්‍රී ලංකාවේ පාංශු තක්සේරුව සහ තිරසර කෘෂිකර්මාන්තයේ අනාගතය හැඩගැස්වීම.
ආචාර්ය තුලිත සිහලිඳු රන්වල - MBBS (කොළඹ) / තිරසාර කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ව්‍යවසායකයෙක/පර්යේෂකයෙක

කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය මෙන්ම දුෂ්කර තත්ත්වයන්ට ඔරොත්තු දීමේ පරිසර පද්ධති සතු හැකියාව සඳහා පදනම සපයනුයේ පසයි . දේශගුණික විපර්යාස, ඉහළ යන යෙදවුම් පිරිවැය සහ භූමි හායනය හමුවේ, විවිධ කෘෂි දේශගුණික කලාප සහිත කෘෂිකාර්මික වශයෙන් පොහොසත් දේශයක් වන ශ්‍රී ලංකාවේ පසෙහි තත්ත්වය පවත්වා ගැනීම වඩ වඩාත් තීරණාත්මක වී ඇත. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික පාංශු පරීක්ෂණ ක්‍රම මන්දගාමී, රසායනාගාර මත රඳා පවතින ක්‍රම වන අතර බොහෝ ගොවීන්ට එම පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාවක් නොපවතී.
මෑත කාලීනව ආසන්න අධෝරක්ත (NIR) වර්ණාවලීක්ෂ ක්‍රමවේදය සම්බන්ධයෙන් අත්කර ගනු ලැබ ඇති දියුණුව හරහා පාංශු තක්සේරු කිරීම් සහ සුපරීක්ෂණ කටයුතු සඳහා පරිවර්තනීය ප්‍රවේශයක් හඳුන්වා දීමට හැකිවී ඇත. මෙම තාක්ෂණය මගින් නිරවද්‍යතාවයෙන් යුතු හා දත්ත මත පදනම් වූ කෘෂිකර්මාන්තය සඳහා නව යුගයක් විවෘත කරදෙමින් කඩිනම් , විනාශකාරී නොවන සහ ලාභදායී පාංශු විශ්ලේෂණයට ඉඩ සලසා දේ.
පාංශු තක්සේරුකරණයේදී NIR තාක්ෂණය යනු කුමක්ද?
විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ආසන්න අධෝරක්ත කලාපයේ ආලෝකය, පස මගින් පරාවර්තනය කරන ආකාරය ආසන්න අධෝරක්ත වර්ණාවලීක්ෂය ඇසුරෙන් විශ්ලේෂණය කෙරේ. කාබනික ද්‍රව්‍ය, ඛනිජ ලවණ, තෙතමනය සහ පෝෂක, ආලෝකය සමඟ සුවිශේෂී ආකාරවලින් අන්තර්ක්‍රියා කරන අතර, ඒ හරහා උසස් ඇල්ගොරිතමවලට නිශ්චිත තරංග ආයාම ඇසුරෙන් පාංශු ගුණාංග අර්ථ නිරූපණය කිරීමට ඉඩ සැලසේ.
අතේ ගෙන යා හැකි නවීන NIR ස්කෑනර් යන්ත්‍රවලට දැන් ප්‍රධාන පාංශු පරාමිතීන් තක්සේරු කළ හැකිය, ඒවා නම්:
- පසෙහි කාබනික කාබන් සහ කාබනික ද්‍රව්‍ය
- පසෙහි අඩංගු සමස්ත සහ ලබා ගත හැකි පෝෂක ද්‍රව්‍ය (N, P, K, Ca, Mg, ආදිය)
- පසෙහි වයනය සහ තෙතමනය
- කැටායන හුවමාරු ධාරිතාව සහ පාංශු සාරවත්භාවය පිලිබඳ දර්ශක
සාම්ප්‍රදායික රසායනික විශ්ලේෂණයන් මෙන් නොව, NIR මත පදනම් වූ පාංශු පරීක්ෂාව මඟින් ක්ෂේත්‍රය තුළදීම මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලබා දිය හැකිය.
NIR පාංශු තාක්ෂණයේ මෑත කාලීන දියුණුව
නවතම NIR පාංශු ස්කෑනර් යන්ත්‍ර සතු පහත සඳහන් ලක්ෂණ එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්කර ගනු ලැබ ඇති ඉහල මට්ටමේ විද්‍යාත්මක දියුණුව පෙන්නුම් කරයි :
- වැඩිදියුණු කළ ක්‍රමාංකන ආකෘති
කෘෂි දේශගුණික කලාප හරහා පස් සාම්පල දහස් ගණනක් භාවිතා කරමින් ක්‍රමාංකනය කිරීම තුලින් නිරවද්‍යතාවය සහ කලාපීය අදාළත්වය සැලකිය යුතු අන්දමින් ඉහල නැංවී ඇත.
- Cloud තාක්ෂණය මත පදනම් වූ දත්ත සැකසීම
පාංශු විශ්ලේෂණයන් දැන් ගෝලීය දත්ත සමුදායන් හරහා සකසනු ලබන අතර, එමඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩ ඉගෙනීම, වැඩිදියුණු කිරීම සහ මිණුම් සලකුණු කිරීම සිදු කෙරේ.
- ජංගම වේදිකා සමඟ ඒකාබද්ධ වීම
ස්මාර්ට්ෆෝන් පාදක අතුරුමුහුණත් හරහා ක්ෂණික වාර්තාකරණය, භූ ස්ථානගත කිරීම සහ ඩිජිටල් වාර්තා තබා ගැනීමට ඉඩ සැලසේ.
- පාංශු කාබන් අධීක්ෂණය
උසස් මට්ටමේ ආකෘති හේතුවෙන් දැන් පසෙහි කාබනික කාබන් ඇස්තමේන්තු කිරීමට හැකියාව ලැබී ඇත. එය දේශගුණ බලපෑම් අවම කිරීම, පාංශු සාරවත් බව සහ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය සඳහා ප්‍රධාන දර්ශකයක් ලෙස ක්‍රියා කරයි.
පර්යේෂණ මට්ටමේ මෙවලමක සිට ගොවීන්, ව්‍යාප්ති නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා ක්ෂේත්‍ර-සූදානම් විසඳුමක් දක්වා NIR තාක්ෂණය රැගෙන යාමට මෙම වර්ධනයන් හේතු වී ඇත.
පාංශු නිරීක්ෂණයේ අනාගතය
අනාගතයේදී පස නිරීක්ෂණ කටයුතු පෙරදී මෙන් කලින් කලට සහ ගොවීන්ගේ ප්‍රතිචාර මත සිදු කෙරෙන කාර්යයකට වඩා ඉන් ඔබ්බට ගොස් අඛණ්ඩව , ඩිජිටල් අයුරින් සහ අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් පුරෝකථනය කල හැකි කාර්යයක් ලෙස සිදුකෙරෙනු ඇත. මෙම පරිවර්තනයේදී NIR තාක්ෂණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
අනාගතයේදී සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යයන් සඳහා පහත ක්‍රියාකාරකම් ඇතුළත් වේ.
- සෘතුමය පරීක්ෂණ (Seasonal testing) වෙනුවට පාංශු සෞඛ්‍යය තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීම (Real-time soil health monitoring)
- ක්ෂේත්‍ර, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ඩිජිටල් පාංශු සිතියම් සැකසීම
- පොහොර, වාරිමාර්ග සහ බෝග සැලසුම්කරණය සමඟ පාංශු දත්ත සම්බන්ධ කරන තීරණ-සහායක පද්ධති සැකසීම
- පසෙහි කාබන් වෙන් කිරීම ඇතුළුව පුනර්ජනනීය පිළිවෙත් තහවුරු කර ගැනීම
- දේශගුණික ආකෘති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ තිරසරභාවය පිලිබඳ වාර්තාකරණය සමඟ ඒකාබද්ධ වීම
මෙවැනි ක්‍රමවේද හරහා සාමාන්‍ය නිර්දේශ ලබාදීම වෙනුවට ස්ථානයන්ට විශේෂිත වන පරිදි , සාක්ෂි මත පදනම් වූ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාවිතය වෙත මාරු වීමට රජයන්ට සහ ආයතනවලට ඉඩ සැලසෙනු ඇත.
ගොවීන් සඳහා බලපෑම
NIR මත පදනම් වූ පාංශු තක්සේරුව හරහා ගොවීන්, විශේෂයෙන් කුඩා වතු හිමියන් සඳහා සුවිශාල බලපෑමක් ඇති කල හැක :
- නිරවද්‍ය පෝෂක නිර්දේශයන් හරහා පොහොර පිරිවැය අඩු කිරීම.
- සැඟවුණු පාංශු ඌනතාවයන් නිවැරදි කිරීමෙන් අස්වැන්න වැඩි දියුණු කිරීම.
- අධික ලෙස පොහොර යෙදීමෙන් සිදුවන පාරිසරික හානිය අඩු වීම.
- නියඟයන්ට සහ දේශගුණික විචල්‍යතාවයන්ට වැඩි ඔරොත්තු දීමේ හැකියාව
- දැනුම තුළින් සවි බලගැන්වීම හරහා දැනුවත් තීරණ ගැනීමට හැකියාව ලබාදීම
වඩාත්ම වැදගත් දෙය නම්, වේගවත් පාංශු විශ්ලේෂණයන් හරහා විද්‍යාගාර මට්ටමේ අවබෝධය ඍජුව ගොවිබිම් වෙත ගෙන එමින් විද්‍යාව වෙත සැමට ප්‍රවේශ වීමේ හැකියාව තහවුරු කිරීමයි.
ශ්‍රී ලංකාව සඳහා අදාලත්වය
ශ්‍රී ලංකාවේ ස්වාභාවික විවිධත්වය – මධ්‍යම කඳුකර ප්‍රදේශ, මෝසම් වර්ෂාපතන රටා සහ විවිධ පස් කාණ්ඩ – නිරවද්‍ය පාංශු බුද්ධිය (precision soil intelligence) සඳහා ඉතා සුදුසු පසුබිමක් නිර්මාණය කර දෙයි. මහා පරිමාණයෙන් NIR පාදක නිරීක්ෂණ භාවිත කිරීමෙන්, ශ්‍රී ලංකාවට:
- ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට
- ආනයනික පොහොර මත යැපීම අඩු කිරීමට
- දේශගුණ විපර්යාස අවම කිරීමට සමත් කෘෂිකර්මාන්තයට සහ පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට සහාය වීමට
- ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට
- තිරසරභාවය සහ පාංශු-සෞඛ්‍ය හා සම්බන්ධ ගෝලීය මූලාරම්භයන් සමඟ අනුකූලතාව දැක්වීමට හැකියාව ලැබෙනු ඇත.
නිගමනය
NIR පාංශු තාක්ෂණය, අප පස තේරුම් ගන්නා, කළමනාකරණය කරන සහ ආරක්ෂා කරන ආකාරය සහමුලින්ම වෙනස් කරයි. ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව කරා ගමන් කරන විට, මෙවැනි විද්‍යාත්මක නවෝත්පාදනයන් භාවිතයට ගැනීම විකල්පයක් ලෙස සිදු කල යුතු නොවේ – එය අත්‍යවශ්‍යයෙන් කල යුත්තක් වේ.
කෘෂිකර්මාන්තයේ අනාගතය රඳා පවතින්නේ තත්‍ය කාලීනව පස පිලිබඳ දැන ගැනීම, වගකීමෙන් යුතුව පෝෂක කළමනාකරණය කිරීම සහ ගොවි ප්‍රජාවන්ගේ ව්‍යවහාරයන් සමඟ විද්‍යාව ඒකාබද්ධ කිරීම තුළ ය. NIR මත පදනම් වූ පාංශු තක්සේරුව එවන් අනාගතයක් කරා යන ගමනේ ප්‍රධාන පියවරක් වේ.

References
- Kok, M., Sarjanta, S., Verweij, S., Vaessen, S. F. C., & Ros, G. H. (2023).
On-site soil analysis: A novel approach combining near-infrared (NIR) spectroscopy, remote sensing and deep learning.
Computers and Electronics in Agriculture, 205, 107603.
https://doi.org/10.1016/j.compag.2023.107603
Affiliations:
AgroCares, Nieuwe Kanaal 7, 6709 PA Wageningen, The Netherlands;
Nutriënten Management Instituut, Nieuwe Kanaal 7C, 6709 PA Wageningen, The Netherlands;
Wageningen University, Earth Systems and Global Change Group, PO Box 47, 6700 AA Wageningen, The Netherlands.
- van der Voort, T. S., Verweij, S., Fujita, Y., & Ros, G. H. (2023).
Enabling soil carbon farming: Presentation of a robust, affordable, and scalable method for soil carbon stock assessment.
Carbon Management, 14(1), 1–14.
https://doi.org/10.1080/17583004.2023.2163457
3. FAO. (2020).
Global Soil Laboratory Network (GLOSOLAN): Guidelines for soil laboratory harmonization.
Food and Agriculture Organization of the United Nations, Rome.
- Viscarra Rossel, R. A., et al. (2016).
Visible, near infrared, mid infrared or combined diffuse reflectance spectroscopy for simultaneous assessment of various soil properties.
Geoderma, 264, 287–299.

ආචාර්ය තුලිත සිහලිඳු රන්වල
MBBS (කොළඹ) /(තිරසාර කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ව්‍යවසායක/පර්යේෂක)
විකලාංග ශල්‍යවෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ( පුහුණු )




