Must Readතාරකා විද්‍යාව

ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලබන 19 වනදා කක්ෂයට

චින්තන විජයවර්ධන - නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) , ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුනවන නැනෝ චන්ද්‍රිකාව ලබන සැප්තැම්බර් 19 වනදා කක්ෂ ගත වීමට නියමිතයි .

“BIRDS-X DRAGONFLY“ නමින් නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කල  “SPX33“ රොකට් මෙහෙයුම මඟින් ජ්‍යාත්‍යන්තර  අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද අතර , එය ලබන 19 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2.15 ට ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හරිනු ලැබීමට නියමිත අතර එම අවස්ථාව ආතර් සී ක්ලාක් ආයතනයේදී සජීවීව නැරඹිමට හැකිවේ .

2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස ” රාවණ -1 ” චන්ද්‍රිකාවත් , පසු 2022 වසරේදී ජ්‍යාත්‍යන්තර පාර්ශවයන් 05 ක සහභාගිත්වයෙන් යුතු තාක්‍ෂණික සහයෝගිත ව්‍යාපෘතියක් තුලින් නිර්මාණය කරන ලද   “KITSUNE”  චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කිරීමෙන් අනතුරුව , මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගත වන  “BIRDS-X Dragonfly” පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රණයක් සනිටුහන් කරයි . මෙහි එක සුවිශේෂී කරුණක් වන්නේ , මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් වැය නොවීමයි .

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය  (JAXA) හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය (ARDC) යන අභ්‍යවකාශ ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක ජ්‍යාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගිතාව සහිතව , ආතර් සි ක්ලාක් ආයතනය සහ ජපානයේ “KYUSHU ” තාක්ෂණ ආයතනය මඟින් ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ තාක්ෂණ සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සැලසුම් කොට ඒ සඳහා අදාළ විදේශීය පාර්ශවයන් ගේ එකඟතාව ලබා ගනිමින්, මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ආතර් සි ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ මෙරට අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘවරයාද වන ඉංජිනේරු  ( ආචාර්ය ) සනත් පනාවැන්න මහතා විසිනි. ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික පර්යේෂණ ඉංජිනේරු කණ්ඩායම ඔහු විසින් මෙහෙය වන ලද අතර එහි අනෙක් සාමාජිකයන් වුයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( තාක්ෂණ මෙහෙයුම් ) ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය , සන්නිවේදන ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පර්යේෂණ ඉංජිනේරු කවින්ද්‍ර සම්පත් , පර්යේෂණ ඉංජිනේරු උදිත ගයාන් සහ පර්යේෂණ විද්‍යාඥ තිළිණ විජේබණ්ඩාර යන අයයි.

“BIRDS-X DRAGONFLY” පර්යේෂණ චන්ද්‍රිකාව මඟින් මුලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතය. නැනෝ චන්ද්‍රිකා තුල භාවිතය සඳහා ඉංජිනේරු තරිඳු දයාරත්න විසින් අඩු පිරිවැයක් යටතේ අලුතෙන් නිර්මාණය කරන ලද සන්නිවේදන උප පද්ධතියක් ද , තවත් සන්නිවේදන පර්යේෂණ මෙහෙයුමක්ද , චන්ද්‍රිකාවේ මුලික උප පද්ධති වලින් සැදුම්ලත් සමස්ථ පොදු ව්‍යුහය වන බස් ( BUS System  )  පද්ධතිය ද , අභ්‍යවකාශ තත්වයන් යටතේ පරීක්ෂණයට භාජනය කිරීම ඊට ඇතුලත්ය.

Author

Related Articles

Back to top button