අඩුවෙන් පරිභෝජනයට ගැනෙන රනිල කුලයට අයත් බෝගයක් ඇසුරෙන් ප්‍රෝටීන් බහුල පෝෂණීය ආහාර නිෂ්පාදන සංවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම.
ආචාර්ය ප්‍රදීප් ගජනායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නයනතාරා ජයසිංහ මහත්මිය පර්යේෂණ සහකාර - ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මිනිස් ජීවිත මත සුවිශාල බලපෑම් ඇති වූ අතර එහි ප්‍රතිඵල දැනුදු පහව ගොස් නොමැත . මේ හේතුවෙන් , මස්, මාළු සහ බිත්තර වැනි ආහාරවල මිල ඉහළ යාම නිසා, ප්‍රෝටීන් වෙනුවට වැඩිපුර කාබෝහයිඩ්‍රේට් භාවිතා කිරීම කෙරෙහි දරුවන්ද ඇතුළු ජනතාව යොමු වී ඇත. මෙයින් මතු වූ ප්‍රධාන ගැටලුව වන්නේ දරුවන් අතර මන්දපෝෂණය වේගයෙන් ඉහළ යාමයි. ලෝක වෙළෙඳපොළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ රටේ ඇති වූ ආර්ථික අවපාතය වැනි සාධක හේතුවෙන් ප්‍රෝටීන් බහුල ආහාරවල මිල වේගයෙන් ඉහළ නැඟිණි.දරුවන් අතර පමණක් නොව රටේ ශ්‍රම බලකාය, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් අතර ද ප්‍රෝටීන් ඌනතා තත්ත්වය මතුව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ මධ්‍යම පාන්තික පවුල් සහ දෛනික වැටුප් ලබන්නන් ඔවුන්ගේ දෛනික ආහාර වේලෙන් සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කිරීමට පටන් ගෙන තිබේ. වත්මන බොහෝ මධ්‍යම පාන්තික සහ දෛනික ආදායම් ලබන පවුල්, මිලෙන් අඩු වීම සහ පහසුවෙන් ලබා ගත හැකි වීම නිසා ශාක ප්‍රෝටීන් මත යැපීමට පුරුදුව සිටිති. මෙරට කෘෂිකාර්මික අංශයේ වැදගත් ස්ථානයක් හිමිවන පශු සම්පත් සහ කුකුළු මස් හා බිත්තර කර්මාන්ත, සෝයා බෝංචි පිටි ආනයනය මත දැඩි ලෙස රඳා පවතී. මෙම ආනයනයන්ගෙන් බහුතරයක් ඉන්දියාව, බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින්ගෙන් ලබා ගනී. මෙම සෝයා බෝංචි පිටි, පශු සම්පත් වෙත සපයනු ලබන ආහාර සඳහා ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන වැදගත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරමින් මස්, කිරි සහ බිත්තර සඳහා ඇති කරන සතුන්ගේ සෞඛ්‍යය හා ඵලදායිතාව සහතික කිරීමට උපකාරී වේ. ශ්‍රී ලංකාව තුළ කුකුළු මස්,බිත්තර සහ පශු සම්පත් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ , උසස් තත්ත්වයේ සෝයා බෝංචි පිටි ස්ථාවර සැපයුමක් සහතික කිරීම රටේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය සඳහා වඩ වඩාත් වැදගත් වේ.
මෙම ආර්ථික අර්බුදයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇති කොටසක් ලෙස කායවර්ධන කර්මාන්තය සහ ක්‍රීඩක ප්‍රජාව දැක්විය හැකිය. විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් සහ අනෙකුත් ආහාර අතිරේක මිලදී ගැනීම සඳහා පවතින හැකියාව සැලකීමේදී මෙය වඩාත් පැහැදිලි වේ. කාර්ය සාධනය, මාංශ පේශි ගොඩනැගීම සහ ගෙවී ගිය කොටස් අලුත් වැඩියාව සඳහා අත්‍යවශ්‍ය වන දෛනික ප්‍රෝටීන් අවශ්‍යතා සපුරාලීම සඳහා බොහෝ කායවර්ධකයින් විසින් මෙම ආහාර අතිරේක භාවිතා කරනු ලැබේ. කෙසේ වෙතත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙම ආහාර අතිරේක දැරිය හැකි මිලකට ලබාගැනීමට ඇති හැකියාව සැලකිය යුතු ගැටළුවක් බවට පත්ව තිබේ. පෙරදී මූල්‍යමය සීමාවන්ට කොටු නොවෙමින් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් ආහාර අතිරේක ගැනීම අඩු කිරීමට පෙළඹී ඇති අතර, එය ඔවුන්ගේ කායික වර්ධනයට සහ පුහුණුවීම්හි ප්‍රගතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි.
පරිප්පු සහ රනිල කුලයට අයත් බෝග යනු වටිනා ශාකමය ප්‍රෝටීන් ප්‍රභවයන් වේ. පරිප්පු වලින් සාදන පරිප්පු ව්‍යංජනය සඳහා ශ්‍රී ලාංකික ආහාරයන්හි ප්‍රධාන ස්ථානයක් හිමිවන වන අතර, බොහෝ විට පොල් කිරි සහ කුළුබඩු සමඟ පිසිනු ලැබේ. ව්‍යංජන සහ සලාද සැකසීමේදී කළු බෝංචි සහ කඩල ජනප්‍රිය අංග වන අතර ඒවා ප්‍රෝටීන් සහ තන්තු ලබා දෙයි.
සෝයා බෝංචි සහ සෝයාමීට් සාමාන්‍යයෙන් නිර්මාංශී ආහාර ප්‍රිය කරන්නන් විසින් පරිභෝජනය කරනු ලැබේ, නමුත් මෙහිදී රසය ඉස්මතුකර ගැනීම සඳහා නිසි කුළුබඩු භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. pigeon peas , වෙල්වට් බෝංචි සහ දඹල වැනි අඩුවෙන් භාවිතයට ගැනෙන රනිල බෝග වැනි තිරසර හා ලාභදායී ප්‍රෝටීන් විකල්ප කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතුය. ආනයන මත යැපීම අඩු කිරීමට උපකාරී වන මෙම විකල්ප බෝග ඉහළ පෝෂණ අගයකින් යුතු වන අතර අඩු පිරිවැයක් යටතේ වගා කල හැක. වඳුරු මෑ (Mucuna pruriens) ලෙස පොදුවේ හඳුන්වන වෙල්වට් බෝංචි, ප්‍රෝටීන් සඳහා විශිෂ්ට ප්‍රභවයක් වන අතර, විශේෂයෙන් ප්‍රෝටීන් ඌනතාවය බහුලව පවතින ප්‍රදේශවල ආහාර වේලට වටිනා එකතු කිරීමක් බවට වී ඇත. පෝෂණ ප්‍රතිලාභ වලට අමතරව, මෙම බෝංචි ඒවායේ ඖෂධීය ගුණ සඳහාද ප්‍රසිද්ධයක් උසුලයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීම , මනෝභාවයන් වැඩි දියුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ඇතුළු විවිධ අරමුණු සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වේදයන්හිදී ඒවා භාවිතා කර ඇත. වෙල්වට් බෝංචි,ඒවායේ අඩංගු ජෛව ක්‍රියාකාරී සංයෝග මගින් අත්කර දෙන සෞඛ්‍ය ප්‍රතිලාභ හේතුවෙන් , සූපශාස්ත්‍ර සහ චිකිත්සක යන දෙඅංශයෙහිම බහුකාර්ය සහ වැදගත් ශාකයක් බවට පත්වී ඇත. දේශීය ආහාර පිරිසැකසුම්කරණය සහ ශාක පදනම් කරගත් ප්‍රෝටීන් නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කළ හැකි අතර ප්‍රෝටීන් ආහාර පිරිවැය අඩු කළ හැකිය. මෙම විකල්ප බෝගයන් ප්‍රවර්ධනය කිරීම හරහා දේශීය ගොවී ප්‍රජාවට අතහිත දීම , පෝෂණ තත්ත්වයන් ඉහල නැංවීම සහ ස්වයංපෝෂිත ආහාර පද්ධතියක් නිර්මාණය කිරීම සිදු වනු ඇත (Vadivel & Janardhanan, 2000).
වෙල්වට් බෝංචි යනු සෝයා බෝංචි හා සම තත්ත්වයේ ලා සැලකිය හැකි 25-30% ප්‍රෝටීන් අඩංගු ඉතා පෝෂ්‍යදායී රනිල කුලයට අයත් බෝගයකි (Kalidass et al., 2014; Baby et al., 2023; Ezegbe et al., 2023). ඒවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, තන්තු සහ ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සහතික කෙරෙන L-Dopa වැනි ජෛව ක්‍රියාකාරී සංයෝගවලින් ද පොහොසත් ය. මෙම ඇට වර්ගය, දියවැඩියාව, රූමැටොයිඩ් ආතරයිටිස්, පාකින්සන් රෝගය, ධමනි සිහින් වීම, උණ සහ වේදනාව පාලනය ඇතුළු විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙයි. ඒවා ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු, මලබද්ධය, ඉදිමීම, උණ සහ ක්ෂය රෝගය යන රෝගී තත්ත්වයන් සමනය සඳහාද යොදා ගනී. වෙල්වට් බෝංචි බීජ කුඩු, සෞඛ්‍යය ප්‍රවර්ධනය කෙරෙන ටොනික් වර්ගයක් සහ කාමෝද්දීපකයක් ලෙස ක්‍රියා කිරීමෙන්, ආතතියෙන් බලපෑමට ලක් වූ ශුක්‍රාණු වල ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් වඳභාවයට පත් පුද්ගලයින්ට උපකාරී වේ. පර්යේෂණවලින් පෙනී යන්නේ වඳභාවයට පත් පිරිමින්ගේ ශුක්‍ර ප්ලාස්මාවේ සහ රුධිර තරලයේ ඩොපමයින්, නොරඩ්‍රිනලින් සහ ඇඩ්‍රිනලින් පහළ මට්ටමක පවතින බවයි. වෙල්වට් බෝංචි ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක සංයුතිය පහත වගුවේ දැක්වේ. (Ortega Monge et al., 2022).

මූලාශ්‍රය : Baby et al., 2023
ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස වෙල්වට් බෝංචි බහුලව භාවිතා කිරීම හරහා ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික හා කෘෂිකාර්මික ප්‍රතිලාභ අත් කර ගත හැකිය. වෙල්වට් බෝංචි යනු විවිධ පරිසර තත්වයන්ට අනුවර්තනය වෙමින් හොඳින් වර්ධනය විය හැකි බෝගයකි. මෙම බෝගයට හොඳින් ජලය බැස යන පසක් අවශ්‍ය වුවද, නිසරු , වැලි සහිත හෝ හායනය වූ පස්වල නොනැසී පැවතිය හැකිය. මිලිමීටර් 650 සිට 2,500 දක්වා වර්ෂාපතනයක් ප්‍රිය කලද , නියං තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් ඊට වඩා අඩු වර්ශාපතනයක් යටතේ වුවද වර්ධනය විය හැක. මෙම බෝගය උණුසුම් ප්‍රදේශවල හොඳින් වැඩුණත්, සෙන්ටිග්‍රේඩ් අංශක 15 ත් 35 ත් අතර උෂ්ණත්වයක් ප්‍රමාණවත් වේ. පසෙහි නයිට්‍රජන් තිර කරන නිසා, ඒවාට වැඩි වශයෙන් පොහොර අවශ්‍ය නොවේ. අඩු නඩත්තුවකින් වුවද වර්ධනය වී අස්වැන්න නෙළා ගත හැකි බැවින්, වෙල්වට් බෝංචි අඩු යෙදවුම් යටතේ සිදුකරන ගොවිතැන් පද්ධති සඳහා යෝග්‍ය වේ. වෙල්වට් බෝංචි වගා කිරීමට ගොවීන් දිරිමත් කිරීමෙන් ඔවුන්ට නව ආදායම් මාර්ගයක් විවර කර දෙමින්, ආනයනික භෝග මත යැපීම අඩු කළ හැකි අතර ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කළ හැකිය. නයිට්‍රජන් තිර කරන රනිල කුලයට අයත් බෝගයක් ලෙස, වෙල්වට් බෝංචි පසෙහි සාරවත් බව වැඩි දියුණු කරයි, රසායනික පොහොර අවශ්‍යතාවය අඩු කරයි, සහ තිරසර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කරයි. දිරි දීමනා , පර්යේෂණ අරමුදල් සහ ප්‍රතිපත්ති සංවර්ධනය වැනි රජය සහ කෘෂිකාර්මික බලධාරීන් විසින් ප්‍රමාණවත් අයුරින් ලබාදෙන සහයෝගය යටතේ , මෙම ඌන උපයෝජිත රනිල කුලයට අයත් බෝගය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා පෝෂණ භූ දර්ශනයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී . (Reshma. R et al., 2024; Siddhuraju & Becker, 2001).
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් වෙල්වට් බෝංචි භාවිතයෙන් ප්‍රෝටීන් බහුල පෝෂණීය ආහාර නිෂ්පාදන සංවර්ධනය කිරීම පිළිබඳව පර්යේෂණයන්හි නිරතව සිටිති. වෙල්වට් බෝංචිවල ශරීරයට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලියට බාධා කරන ප්‍රතිපෝෂක ඉහල මට්ටම් වලින් අඩංගු වන බැවින් වෙල්වට් බෝංචි ආශ්‍රිත නිෂ්පාදනවල ආරක්ෂිත සහ පෝෂ්‍යදායී බව සහතික කිරීම සඳහා ඒවායේ පිරිසැකසුම් ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීම, මෙම පර්යේෂණයන් යටතේ සිදු කළ ප්‍රධාන නවෝත්පාදනයන්ගෙන් එකකි. මෙම පර්යේෂණය අතරතුර, ප්‍රතිපෝෂක ඉවත් කිරීමට සහ පෝෂ්‍ය පදාර්ථවල ජෛව උපයෝගීතාව වැඩි කිරීමට ක්‍රම කිහිපයක් පරීක්ෂා කරන ලදී. ඒ අතරින්, ප්‍රතිපෝෂක අඩු කිරීමේ වැඩි හැකියාවක් සහිත සහ ආහාර කර්මාන්තයේ භාවිතා කිරීමට වඩාත් පහසු ක්‍රමය තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණයේ දෙවන අදියර වන්නේ වෙල්වට් බෝංචි මත පදනම් වූ ප්‍රෝටීන් බාර් සකස් කිරීමයි. එය විශේෂයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිසුන් සහ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පුද්ගලයින් සඳහා පහසු සහ දැරිය හැකි මිලකට ලබා ගත හැකි ප්‍රෝටීන් ප්‍රභවයක් සපයයි. මෙම ප්‍රෝටීන් බාර් කායවර්ධන ශිල්පීන් සඳහා ද්විත්ව ප්‍රතිලාභ ලබා දෙන අතර, එහිදී වෙල්වට් බෝංචි වල බහුලව අඩංගු ප්‍රෝටීන් අන්තර්ගතය , ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි දියුණු කිරීමේ ස්වභාවික හැකියාව සමඟ එක්කිරීමෙන් මාංශ පේශි වර්ධනය සහ සමස්ත ක්‍රියාකාරිත්වයට පහසුකම් සපයයි. මෙම බාර් ඒවායේ රසය සහ පෝෂණ අගය වැඩි දියුණු කරනු පිණිස වෙල්වට් බෝංචි පිටි, ඇට වර්ග, බීජ සහ ස්වභාවික රසකාරක වලින් සාදා ඇත. ඊට අමතරව, සාම්ප්‍රදායික තිරිඟු පිටි සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ඉදිරිපත් කරමින් බේකරි කර්මාන්තයේදී සහ ආහාර පිසීමේදී භාවිතය සඳහා වෙල්වට් බෝංචි එක්කල පිටි වර්ගයක් වැඩිදියුණු කිරීමට පර්යේෂකයන් විසින් කටයුතු කරමින් සිටී. පාන්, චපාති සහ අනෙකුත් ප්‍රධාන ආහාර සෑදීමේදී මෙම පෝෂක එක්කල පිටි භාවිතා කළ හැකි අතර, එමඟින් ප්‍රෝටීන් පරිභෝජනය වැඩි කිරීමට පහසු මාර්ගයක් සපයා දේ. අනාගතයේදී සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කල හැකි නවෝත්පාදනයක් ලෙස බිස්කට්, ශක්තිජනක පාන වර්ග සහ ප්‍රෝටීන් කුඩු වැනි ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතයක් සහිත කෙටි ආහාර සහ පාන වර්ග සැකසීම හඳුන්වා දිය හැකි අතර එමඟින් වැඩි පිරිසකට ඉහළ ප්‍රෝටීන් පෝෂණයක් සපයා දීම අරමුණු කර ගැනේ. සාම්ප්‍රදායිකව ගත් කල වෙල්වට් බෝංචි යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතයට ගැනෙන ආහාර ප්‍රභවයක් නොවන බැවින්, ඒවායේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත්භාවය ඉහල නැංවීම සහ සූපශාස්ත්‍ර අංශයේදී ඒවායේ බහුකාර්යතාව ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. වාණිජමය වශයෙන් ලාභ උපයාදීමේ හැකියාවක් සහිත ආහාර නිෂ්පාදන සඳහා වෙල්වට් බෝංචි ඇතුළත් කිරීමේදී ඒ සඳහා ආහාර කර්මාන්ත අංශය විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, සාමාන්‍ය ජනතාව අතර ඒවායේ පරිභෝජනය සාමාන්‍යකරණය කිරීමට එය උපකාරී වේ.
ප්‍රෝටීන් සුරක්ෂිතතාව සහ ආහාර තිරසරභාවය පිළිබඳ දිනෙන් දින උත්සන්න වන ගැටළුකාරී තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති පසුබිමක , වෙල්වට් බෝංචි වැනි ඌන උපයෝජිත භෝග පිලිබඳ ගවේෂණය කිරීම තුලින් මෙම ගැටලුව සඳහා වටිනා විසඳුමක් සොයා ගැනීමට හැකි වනු ඇත. පර්යේෂණ, නවෝත්පාදන සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමෙන්, ආනයනික ප්‍රෝටීන් ප්‍රභවයන් මත යැපීම අඩු කර ගත හැකි අතරම, දැරිය හැකි මිලකට ලබාගත හැකි සහ පෝෂ්‍යදායී ආහාර විකල්ප සියලුම ශ්‍රී ලාංකිකයින්ට ලබා ගත හැකි වීම සහතික කළ හැකි වේ. වෙල්වට් බෝංචි ප්‍රධාන ධාරාවේ ආහාර නිෂ්පාදනවලට ඒකාබද්ධ කිරීම යනු ජාතික පෝෂණය වැඩිදියුණු කිරීම උදෙසා ගනු ලැබූ පියවරක් පමණක් නොව, ශ්‍රී ලංකාව වඩාත් තිරසර හා ස්වයංපෝෂිත අනාගතයක් කරා යන පුළුල් ගමනක සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්ද වේ.

රූපය 01- වෙල්වට් බෝංචි කරල් රූපය 02- වෙල්වට් බෝංචි බීජ

රූපය 03- වෙල්වට් බෝංචි පිටි
References
Baby, C., Kaur, S., Singh, J., & Prasad, R. (2023c). Velvet bean (Mucuna pruriens): A sustainable protein source for tomorrow. Legume Science, 5(3). https://doi.org/10.1002/leg3.178
Chinapolaiah, A., K., H. B., G.N., M., Thondaiman, V., Keshava Rao, V., N., H. R., & S., S. K. (2019). Variability in L-Dopa and other biochemical composition of Mucuna pruriens (L.) an underutilized tropical legume. Industrial Crops and Products, 138. https://doi.org/10.1016/j.indcrop.2019.06.010
Lampariello, L. R., Cortelazzo, A., Guerranti, R., Sticozzi, C., & Valacchi, G. (2011). The Magic Velvet Bean of Mucuna pruriens. In Journal of Traditional and Complementary Medicine (Vol. 1, Issue 4).
Ortega Monge, M. C., Salas, M. F. R., Chavarría-Rojas, M., Berrocal, G. C., & Redondo, G. M. (2022). Universal Aspects of the Genus Mucuna and the Properties Describe of Mucuna urens and Mucuna pruriens. Pharmacognosy Reviews, 16(32), 74–81. https://doi.org/10.5530/phrev.2022.16.11
Ezegbe, C. C., Nwosu, J. N., Owuamanam, C. I., Victor-Aduloju, T. A., & Nkhata, S. G. (2023). Proximate composition and anti-nutritional factors in Mucuna pruriens (velvet bean) seed flour as affected by several processing methods. Heliyon, 9(8). https://doi.org/10.1016/j.heliyon.2023.e18728
Kalidass, A., Mahapatra, C. and Bailey, L.H., 2014. Evaluation of the proximate and phytochemical compositions of an underexploited legume Mucuna pruriens var. utilis (Wall ex Wight). International Food Research Journal, 21(1), pp.191–195.
Reshma. R, Reshma. P, Shaik Nazir Basha, & Reddappa J.B. (2024). VELVET BEAN INSIHTS. In Beans an Insight study (Vol. 1, pp. 191–200).
Siddhuraju, P., & Becker, K. (2001). Preliminary nutritional evaluation of Mucuna seed meal (Mucuna pruriens var. utilis) in common carp (Cyprinus carpio L.) : an assessment by growth performance and feed utilisation. Aquaculture, 105–123.
Vadivel, V., & Janardhanan, K. (2000). Nutritional and anti-nutritional composition of velvet bean: an under-utilized food legume in South India.

ආචාර්ය ප්‍රදීප් ගජනායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,
තාක්ෂණ පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

නයනතාරා ජයසිංහ මහත්මිය
පර්යේෂණ සහකාර,
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව,
තාක්ෂණ පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.




