කෘතිම බුද්ධිය (AI) සහ අධ්‍යාපනය
ඩොනල්ඩ් වික්‍රමතන්ත්‍රී, විද්‍යා ගුරු , ර/ශ්‍රී සුමන මහා විද්‍යාලය

AI හි ඇරඹුම
කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) හෙවත් මිනිස් බුද්ධිය අනුකරණය කිරීමේ සංකල්පයට දීර්ඝ ඉතිහාසයක් ඇත. දෙවන ලෝක යුද්ධය නිමා වී, 1950 දශකය වන විට, විද්‍යාඥයන් මෘදුකාංග හා යන්ත්‍ර මඟින් සිතීමේ හැකියාව අනුකරණය කිරීමට උත්සාහ දැරීය.
මෙහි මූලික අදියර ලෙස, 1956 දී ඇලන් ටියුරින් විසින් “මිනිස් බුද්ධිය සමඟ තරඟ කළ හැකි යන්ත්‍ර” සංකල්පය ඉදිරිපත් කරන ලදී. මෙය AI සඳහා මූලික පදනම විය. එතැන් පටන් මෙම ක්ෂේත්‍රය සංවර්ධනය වූයේ සිතා ගැනීමටත් අපහසු තරම් වේගයකිනි. වර්තමානය වන විට AI තාක්ෂණය රථවාහන වල ස්වයංක්‍රීය ධාවන සහායක (Auto Steering Assistance) පද්ධති, කථනය හඳුනාගැනීමේ යෙදවුම් (Voice Recognition) සහ භාෂා පරිවර්තක වැනි පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආක්‍රමණය කර අවසන් ය.
කෘතිම බුද්ධිය සහ අධ්‍යාපනය
දීර්ඝ කාලයක් පුරා ඉගැන්වීම, ඉගෙනීම ආශ්‍රිත අධ්‍යාපනික කටයුතු සැලකුනේ මානව මැදිහත්වීම මත පමණක් සිදුවිය යුතු කටයුතු ලෙසට ය. පාඩම් ඉගැන්වීම, ප්‍රශ්ණ පත්‍ර සැකසීම, ඒවායේ හරි වැරදි බලා ලකුණු ලබා දීම ආදිය මිනිස් අතකින් ම වියයුතු බව සැලකින. පරිගණකය වෙත පැවරුනේ ලකුණු ගබඩා කර ගැනීම හා විශ්ලේෂණ කටයුතු වැනි ක්‍රියාවන් හා ඒ ඇසුරින් කෙරුණු පුරෝකතනයන් ඉදිරිපත් කිරීම වැනි මිනිසාට වඩා කාලය ගත කල යුතුවන තාලයේ කාර්‍යයන් ය.
එහෙත් භූමිකාවන් හුවමාරු වීමට ගතවූයේ දශක කිහිපයක් පමණකි.
අධ්‍යාපනයේ AI කරණය: සිසුන් උදෙසා
කෘතිම බුද්ධිය, සිසුන් සහ ගුරුවරුන් යන දෙපාර්ශ්වය වෙතම ඇති කර ඇති බලපෑම ඉමහත් ය.
අද දැනුම් සමාජයේ, කෘතිම බුද්ධිය (AI) සිසුන් වෙනුවෙන් විශාල අවස්ථා රැසක් විවෘත කර ඇත. AI හැකියාවන් මඟින් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙමින් පවතී.
AI මඟින් සෑම සිසුවකුගේ ම ඉගෙනුම් මාවත තනි තනිව විශ්ලේෂණය කරයි. එහිදී සිසුවාගේ පුද්ගලික දක්ෂතා, සුදුසුකම් සහ අභිමතාර්ථයන් සලකා බැලේ. මෙම තාක්ෂණය මඟින් සෑම සිසුවාටම සිය අවශ්‍යතාවයන්ට සරිලන පාඩම් සැකසුම් සහ ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කළ හැකිය. මෙය සාම්ප්‍රදායික පන්ති කාමරයක දී තනි ගුරුවරයෙකු හට ලඟා කර ගැනීමට දුෂ්කර අභියෝගාත්මක කාර්‍යයකි.
කෘතිම බුද්ධි යෙදවුම් මගින් සිසුන්ගේ අක්‍රීය ඉගෙනුම රටාව, සක්‍රීය ඉගෙනුමක් බවට පරිවර්තනීය වෙනසකට ලක් කරයි. එ මගින් ශිෂ්‍යයෙකුගේ කාර්ය සාධනය (performance) තත්‍ය කාලීනව (Real-Time) විශ්ලේෂණය කරන අතර පාඩම් වල දුෂ්කරතා සහ අන්තර්ගතය ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා වලට ගැලපෙන පරිදි සකස් කරයි. එය සිසුන් ඕනෑවට වඩා සරල ඉගෙනුම් ද්‍රව්‍ය වලින් කම්මැලි වීම හෝ ඕනෑවට වඩා සංකීර්ණ සංකල්පවලින් කලකිරීමට පත් වීම සිදු නොවන බව සහතික කරයි.
උදාහරණය ලෙස “DreamBox Learning” වැනි AI පාදක ගණිත වේදිකා (Mathematical Platform) ශිෂ්‍යයෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව තමා ඉදිරිපත් කරන ගණිත ගැටළු වල දුෂ්කරතා අනුවර්තනය කර ගැනීම දැක්විය හැකි අතර යම් ශිෂ්‍යයෙකු භාග ආශ්‍රිත ගැටලුවල දුර්වලතා දක්වන්නෙ නම් AI පද්ධතිය සරල භාග ගැටලු සහ ඉලක්කගත ගැටළු වැඩිපුර සපයන අතර ඔවුන් එහි නිපුණත්වය දක්වයි නම්, එතැනින් වඩාත් අභියෝගාත්මක අභ්‍යාසයන් කරා මාරු වීම පෙන්විය හැක.
AI මගින් බල ගැන්වුනු අතත්‍ය යථාර්ත (Virtual Reality (VR) සහ වර්ධිත යථාර්ත (Augmented Reality (AR) තාක්ෂණයන් මඟින් සිසුන්ට සංකීර්ණ සංකල්ප පවා පහසුවෙන් තේරුම් ගැනීමට අවස්ථාව සලසයි. විශේෂඥ පුහුණු පද්ධතීන් සවිස්තරාත්මක ප්‍රතිපෝෂණ ලබා දෙන අතර, 24 පැය පුරා අධ්‍යාපනික සහාය සැපයීමටද හැකියාව ඇත. එමෙන්ම සිසුවාට පෞද්ගලික මඟ පෙන්වීම් සහ සහාය සැපයීමට හැකියාව ලබා දෙයි.
උදාහරණ ලෙස අතත්‍ය යථාර්ත අනුකරණයන් (VR/AR simulations) මගින් සිසුන් හට තම හුනස්නෙහි සිටියදී ම මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ සැරිසැරීමේ හෝ මිනිසා මෙතෙක් පා නොතැබූ අන්තර් විශ්වීය තාරකාන්තර සංචාරයක නිරත වීමේ හැකියාව උදාකර දීම පෙන්වා දිය හැක.
තවද සාමාන්‍ය පාසල් පද්ධතිය වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතා සහිත ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා නිවසේදීම සපයා දීමේ හැකියාව මෙම තාක්ෂණය සතුය.
මේ සියලු දෑ ලඟා කර ගැනීමට කල යුත්තේ පන්ති කාමරයට හෝ නිවසට වේගවත් අන්තර්ජාල පහසුකම් සපයා දීමත් සෑම සිසුවෙකු අතට ම AI ශක්‍යතාවන්ගෙන් හෙබි පරිගණකයක් හෝ ටැබ්ලට් පරිගණකයක් ලබා දීමත්ය.
සිසුන් හට පහසුවෙන් භාවිතා කල හැකි මෙවැනි කෘතිම බුද්ධි යෙදවුම් කිහිපයක් ලෙස Grammarly, QuillBot, Elicit, Consensus, Jasper (Jasper.ai), Quizlet, Anki, Socratic by Google, Wolfram Alpha, Duolingo, Memrise, Gamma.app, Tome.app ආදිය පෙන්වා දිය හැක. මේවා මගින් භාෂා පරිවර්තන, ව්‍යාකරණ දෝෂ නිවැරදි කිරීම, ස්වයංක්‍රීය සමරූපණ (presentations) නිර්මාණය, ගණිත ගැටලු විසඳා ගැනිම ආදී බොහොමයක් දෑ ඉටු කර ගත හැකි වේ.
කෙසේ වුවද, මෙම තාක්ෂණය භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පවතී. මානවීය සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව මෙම ප්‍රවේශය තුල දී අහිමි වීමේ අවදානම පවතින අතර, දත්ත රහස්‍යතාව සුරක්ෂිත කිරීම සහ සියලුම සිසුන් වෙත සමාන අවස්ථා සැපයීම වැනි සාධක සැලකිල්ලට ගත යුතුය. තවද වැඩි වැඩියෙන් සිසුන් කෘතිම බුද්ධි යෙදවුම් භාවිතයට ගැනීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලි හසුරු කුසලතා සංවර්ධනය නොවීමේ අවදානමක් ඉස්මතු වේ.
අවසාන වශයෙන් කිව හැක්කේ කෘතිම බුද්ධිය යනු අධ්‍යාපනයේ අලුත් මඟක් වන අතර, මනා කළමණාකරණයකින් යුතුව සිසුන් අතට පත් කිරීමෙන් ඔවුන් වෙනුවෙන් අසීමිත අවස්ථා විවෘත කරන තාක්ෂණික විප්ලවයක් බවට පත් කර ගත හැකි බවයි.
අධ්‍යාපනයේ AI කරණය: ගුරුවරුන් උදෙසා අධ්‍යාපනික ක්ෂේත්‍රය තුලට කෘතිම බුද්ධි යෙදවුම් පැමිණිම තුළින් ගුරුවරයා හට ද අත් කර ගත හැකි විපුල ඵල රැසකි. ස්වයංක්‍රීය පරිපාලන කාර්යන් තුළින් ගුරුවරුන්ට තම කාලය කළමණාකරණය කර ගැනීමට හැකි වේ. බහුවරණ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම, නිබන්ධන සහ වෙනත් කාර්යන් ස්වයංක්‍රීය කිරීමෙන් ඔවුන්ට තම කාලය වඩාත් සාර්ථක අධ්‍යාපන සැලසුම් සකස් කිරීම සහ සිසුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට යෙදවීමේ අවස්ථාව සලසා දී තිබේ.
ChatGPT වැනි යෙදවුම් මගින් ගුරුවරයා හට දෙමාපියන් වෙත යැවිය යුතු ලිපි සැකසීම, ප්‍රතිඵල සාරාංශකරණය, තමා නොදන්නා විෂයය කරුණක් පිලිබඳ විමර්ශනය කිරීම වැනි ක්‍රියාවන් පහසුවෙන් සිදු කර ගත හැකිය.
එමෙන්ම AI Powered Chatbots මගින් දෙමාපියන් හා සිසුන් හට පැන නඟින පොදු ගැටලු වෙනුවෙන් ස්වයං ක්‍රීයව පිළිතුරු සැපයීමේ පද්ධති කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබේ. එ මගින් පාසැල් කාලයෙන් පසු දවසේ ඕනෑම මොහොතක ගුරුවරයා වෙත ඇමතුම් ලැබීම හේතුවෙන් ගුරුවරයාගෙ නිදහස් කාලය අහිමි වීමේ අවාසියෙන් ඔහු ගලවා ගත හැකි වේ.
තවද AI මගින් බල ගැන්වුනු භාෂා පරිවර්තක පද්ධති මගින් ඕනෑම භාෂාවක් කතා කරන සිසුන් සමග සන්නිවේදන සබඳතා පවත්වා ගැනීමට ගුරුවරයා හට අවස්ථාව සලසා ඇත.
ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධති ඇසුරෙන් ශිෂ්‍ය පැමිනීම ලකුණු කිරීම, ශිෂ්‍ය නොපැමිණීම් එ සැනින් දෙමාපියන් වෙත වාර්තා කිරීම, වාර්ෂික පැමිණීමේ සාරංශ ජනනය සිදු කල හැකි වේ. කෘතිම බුද්ධිය මගින් බල ගැන්වුනු දත්ත විශ්ලේෂණ පුවරු (AI-powered Analytics Dashboards) තුළින් ගුරුවරුන්ට සිසුන්ගේ කාර්ය සාධනය පිළිබඳ අනන්‍ය වූ පැහැදිලි අදහසක් ලබා ගත හැකිවේ. මේ තුළින් ඔවුන්ට තම සිසුන්ට වඩාත් කාර්යක්ෂම වූ පුද්ගල කේන්ද්‍රීය සහයයන් (more personalized support) සැපයිය හැකි වේ. AI තාක්ෂණය ඇසුරු කරගෙන පාඩම් සැලසුම් සැකසීම සහ අධ්‍යාපනික ද්‍රව්‍ය සකස් කිරීමට තාක්ෂණික මෙවලම් පිළිබඳ දැනුවත් වීම ගුරුවරුන්ට වැදගත් වේ. මෙම මෙවලම් ඔවුන්ට අන්තර්ජාලයේ පවතින අධ්‍යාපනික සම්පත් සොයා ගැනීමට සහ ඒවා විශ්ලේෂණය කිරීමට සහාය වේ.
කෘතිම බුද්ධිය මගින් බල ගැන්වුනු, ගුරුවරුන් හට තම ඵලදායීතාව වැඩි කර ගැනීමට යොදා ගත හැකි යෙදවුම් කිහිපයක් ලෙස MagicSchool AI, Eduaide.Ai, Gradescope, Quizizz, ChatGPT, Gamma.app, Tome.app, Otter.ai, Diffit.me, Curipod, ClassPoint AI, Brisk Teaching දැක්විය හැක. මේවා සියල්ල ම පාහේ මුදල් ගෙවා ලබා ගතයුතු වන සේවාවන් වුවත් ඒවායේ නොමිලේ ලබා දෙන සංස්කරණ තිබෙන බැවින් ඒවා භාවිතයෙන් තම කටයුතු පහසු කර ගැනීමට හැකියාව ඇත.
අනාගත ගුරු භූමිකාව සහ කෘතිම බුද්ධිය අනාගතයේ ගුරුවරුන්ගේ වගකීම් පරිවර්තනය වනු ඇත. ඔවුන් දේශන පවත්වන්නෙකුගෙන් ඉගෙනීමට පහසුකම් සලසන්නෙකුගේ භූමිකාව වෙතට (from Lecturer to Facilitator role) සංක්‍රමණය වනු ඇත. ඔවුන් කෘතිම බුද්ධිය හට ලඟා කර ගැනීම අසීරු වන සහකම්පනය, නිර්මාණශීලීත්වය වැනි ගුණාංග ප්‍රගුණ කල යුතුවනු ඇත. ගුරුවරයා වඩ වඩාත් තොරතුරු සන්නිවේදනය හා පරිගණක සාක්ෂරතාව ප්‍රගුණ කලයුතු වන අතර ම AI තාක්ෂනික යෙදවුම් පිළිබඳව පුළුල් දැනුමක් ලබා එය තම සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සැපිරීම පිළිබඳ නිපුණත්වයක් ඇති කර ගත යුතු වේ.
ගුරුවරුන් අධ්‍යාපනික ක්ෂේත්‍රය තුල AI තාක්ෂණයේ සදාචාරාත්මක භාවිතය පිළිබඳ ව සන්නිවේදන සාකච්ඡා වලට දායකත්වය දැක්විය යුතු වන අතර ඩිජිටල් අවකාශය තුල සිසුන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට හා ඩිජිටල් සමානාත්මකතාව ඇති කිරිමට කැප විය යුතුය.
තම වෘත්තීය සංවර්ධනය උදෙසා, AI සහ අධ්‍යාපනයේ නවතම ප්‍රවණතා පිළිබඳ සම්මන්ත්‍රණ, වැඩමුළු සහ මාර්ගගත පාඨමාලාවන් සඳහා සහභාගි වී යාවත්කාලීන වීම අත්‍යාවශ්‍ය වනු ඇත.
අධ්‍යාපනයේ මානුෂික සංවේදී බව තමා තුල රඳවා ගැනීම අන් කවරදාටත් වඩා වැදගත් කර්තව්‍යයක් වනු ඇත.
සාරාංශය වශයෙන් කිව හැක්කේ, කෘතිම බුද්ධියට අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය වන හෘදයාංගම ගුරු-සිසු සබඳතාවයට නේක අයුරින් සහාය දැක්විය හැකි වුවත්, කිසිදා ඊට ආදේශකයක් බවට පත් විය නොහැකි වනු ඇති බවයි.
• මෙම ලිපිය සැකසීම සඳහා කරුණු සපයා ගැනීමට ChatGPT, Gemini කෘතිම බුද්ධි යෙදවුම් වල සහාය ලබා ගන්නා ලදි.
• සමහර සංකීර්ණ වාක්‍යාංශ සරල සිංහල බසට හරවා ගැනීමට Claude AI යෙදවුම යොදා ගැනිණ.
• තොරතුරු වල අඩංගු සමහර වචනවල අර්ථය Google Translator යෙදවුම මගින් සොයා ගැනිණ.
• ඡායාරූපය Leonardo.ai නම් වන කෘතිම බුද්ධි යෙදවුම මගින් නිර්මාණය කර ගැනිණ.
• ලිපිය යතුරු ලියනය කිරීම Helakuru Voice Typing යෙදවුම මගින් සිදු කෙරිණ.
ඩොනල්ඩ් වික්‍රමතන්ත්‍රී
විද්‍යා ගුරු , ර/ශ්‍රී සුමන මහා විද්‍යාලය, මුද්දුව ,රත්නපුර